Friday, May 1, 2015

මේ හොඳ ලස්සන බෝනික්කා ..

බබා එන්නකෝ සින්දුවක් කියල දෙන්න..

හා...
පොඩි එකී දුවගෙන ආවේ බොහොම ආසාවෙන්..

මම ගෙදර ආවම වැඩි වෙලාවක් ගත කරන්නේ මේ බබා එක්ක..
මගේ ෆෝන් එකෙන් එයාට සින්දු දාල දෙන එක තමයි ගෙදර ගියාම මට තියෙන ලොකුම රාජකාරිය..
දැනට එක වසරේ ඉගෙන ගන්නවා වුනාට පණ්ඩිතකමේ නම් අඩුවක් නෑ එයාගේ..
මේ අපේ ඉස්සරහ ගෙදර අක්ක කෙනෙක්ගේ බබෙක්..
ඒත් එයාගේ දවස ගෙවෙන්නේ අපේ ගෙදර..





මං කියල දෙන්න හදන්නේ බෝනික්කාගේ සින්දුව..
ඔයා අහල තියෙනවද ?

නෑ ... අනේ දාන්නකෝ..

මේ හොඳ ලස්සන බෝනික්කා
තනිවී හඬනා හැටි දැක්කා
ඒකයි විල ඉවුරේ ඉඳලා අපි
එක්කරගෙන ආවේ //

කඳුළුවලින් කම්මුල් පෙඟිලා
ලස්සන රතු සායම් මැකිලා
බෝනික්කා අපි එක්කලා කිව්වා
රහසක් ඉකිබිඳලා

පුංචි බබා මං හිටි නිවසේ
සෙල්ලමටයි හිත මුළු දවසේ
පාඩම් වැරදීලා මේ පාරත්
පංතියෙ අන්තිමයා

ඔක්කෝටම මුල බෝනික්කා
කියලා බනිනව ලොකු අක්කා
ඒ හින්දා මං යනවා යන්නට
එනවද මා එක්කා

මේ හොඳ ලස්සන ...

මකුළු දැලෙන් රුවලක් බැඳලා
පුවක් කොලෙන් ඔරුවක් හදලා
බෝනික්කා නලවන්නයි යන්නේ
අපි ඔක්කොම නැගලා

බබා පළවෙනි පාර සින්දුව අහන් හිටියේ හුස්ම ගන්නෙවත් නැතුව වගේ..
එයාට සින්දුව තේරුනාද කියල මට සැකයි..
ඉතින් මම කතාව කියල දුන්න ..

මෙහෙමනේ බබා..
මේ බෝනික්ක විල ළඟට වෙලා අඬනවා..
ඒක දැකපු ළමයි ටිකක් බෝනික්කව එක්කන් එනවා..
එහෙම එක්ක ඇවිත් අහනවා ඇයි බෝනික්කෝ ඔයා අඬන්නේ කියලා..
එතකොට බෝනික්ක කියනවා එයා හිටපු ගෙදර පුංචි බබා පාඩම් කරන්නේ නැතුව සෙල්ලම් කරන නිසා පන්තියේ අන්තිමයා වෙලා කියලා..
ඊට පස්සේ ඒ ළමයාගේ ලොකු අක්කා බැනලා ඔක්කොටම මුල මේ බෝනික්ක තමයි කියලා..
ඉතින් ඒකට දුක හිතිලා තමයි බෝනික්ක ගෙදරින් ගිහින් තියෙන්නේ...
අන්න එහෙම යද්දී තමයි අර ළමයින්ට බෝනික්කව විල ළඟ ඉඳල හම්බෙලා තියෙන්නේ...

සෑහෙන්න බරපතල විදියට මම කියපු එක අහන් හිටපු බබා , මෙහෙම කිව්වා..
අනේ අපි ආයේ ඒ සින්දුව අහමුකෝ..

හා එහෙනම් මම දාන්නම්කො..

දැන් සින්දුව ප්ලේ වෙනවා..
ඔන්න දැන් තමයි කතාව පටන් ගන්නේ..

මේ සින්දුව කියන්නේ බෝනික්කද ?
නෑ බබා මේ ටික කියන්නේ ළමයි.. බෝනික්ක සින්දුව කියන්නේ පස්සේ..

ඇයි බෝනික්ක අඬන්නේ ?
මම කිව්වේ ඔයාට, ලොකු අක්ක බැනපු නිසා තමයි විල ළඟට ඇවිත් අඬන්නේ ..

විල කියන්නේ මොකද්ද ??
විල කියන්නේ වතුර පිරුන තැනක්.. වැව් වගේ..

ඒවයි නාන්න පුළුවන්ද ?
පුළුවන් පුළුවන් ??

මේ සින්දුව ලොකු අක්කත් කියනවද ?
නෑ එයා ඉන්නේ වෙන ගෙදරක නේ.. ඒ ගෙදර බබාගේ තමයි මේ බෝනික්කා

ඒ බබත් මේ සින්දුව කියනවද ?
නෑ එයා ඉන්නේ ගෙදර නේ..

ගෙදරද ඉස්කෝලේ ගිහින්ද ??
මම ඒක දන්නේ නෑ..

ඇයි දන්නේ නැත්තේ.. ??
අපි වෙන සින්දුවක් අහමුද ??

බැහැ.. මේක අහමු...ඇයි දන්නේ නැත්තේ කියන්න...
ඉතින් මම දන්නේ නෑ නේ !!

එයා ඉස්කෝලේ වෙන්න ඇති..
ඔව් මාත් හිතන්නේ ..

දැන් බෝනික්ක ආයි ගෙදර යනවද ?
ඔව් මේ ළමයි එක්ක යාවි එයාව ගෙදරට ..

ලොකු අක්ක ආයි බනියිද ?
නෑ මේ ළමයි කියාවි බනින්න එපා කියල..

මේ ළමයින්ට බනින් නැද්ද ලොකු අක්කා ??
බබා ඔයා දැන් කන්න යන්න..
මාත් කන්න යනවා...
පස්සේ අපි සින්දු අහමු..


කතාව ඉවරයි !!!


10 comments:

  1. හිහි...පොඩි උන් එක්ක කතා කරලා බේරෙන්න බෑ. අර වැලි මිදුලේ අඳපු පින්තූරේ හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ඔව්.... මම උදේ ඇහැරිලා බලනකොට එයාගේ අම්මා ඉදලත් අතේ තියාගෙන වාඩි වෙලා ඉන්නවා ළිඳ ගාව..
      බලනකොට ඒ බබා චිත්‍රෙ ඇඳලා ඉවර වෙනකන් අතුගාන එක තහනම් කරලා එයාගේ අම්මට... :D

      Delete
  2. මම ඉස්සර කැමති නැහැ ඔය සින්දුවට!

    හේතුව තමයි ඒ සින්දුවෙන් ලොකු අක්කලට කරලා තියෙන අසාධාරණය! නංගිට පාඩම් කරන්න දුන්නෙ නැහැ කියල බෝනික්කන්ට බනිනවට වඩා ලොකු අක්කලට කොච්චර වැඩ තියෙනවද?

    කොහොම වුණත් හොඳ බුද්ධිමත් බබෙක්...

    ReplyDelete
    Replies
    1. ඔය ලොකු අක්කට නම් ඇත්තට සෑහෙන්න වැඩ තියෙන්න ඇති... :D
      බබා බුද්ධිමත් වෙලා තියෙන්නේ මම වගේ බුද්ධිමතෙක් ඇසුරු කරන නිසා තමයි ඉතින් !!

      Delete
  3. ඔච්චර ප්‍රශ්ණ අහන්නේ පට්ට බබෙක් තමයි............

    ReplyDelete
    Replies
    1. කියල වැඩක් නෑ... පණ ගියා මගේ.. :D

      Delete
  4. මාත් මේ සිංදුව ගැන ලියන්න හිතාගෙන ඉන්නවා සෑහෙන කාලෙක ඉඳන්. හොඳ වැඩේ රවින් ට වුනේ කියල හිතුනා ඉතිං...

    ReplyDelete
    Replies
    1. ලියන්න ලියන්න... මේ සින්දුව මරු..
      මම ඉතින් පාඩමක් ඉගෙන ගත්ත මේ වැඩෙන්.. :D

      Delete
  5. kanna yanna nokiwwanam babaata akkath pennala , wAwath pennala, lamayth pennala, bonikka anduwa wage andalapenwannath wenawa sure,... nice a

    ReplyDelete
    Replies
    1. Ha ha.. Thankoo.. mehema beruna athi ithin. .. 😃

      Delete