Wednesday, February 22, 2012

"තෙල් මිල ඉහල ගියානම් , මාළු මිලත් ඉහල දාපන්. උද්ඝෝෂණ කරන්නේ නැතුව." ( I කොටස )

"මම නම් හිතන්නෙ ඔය උද්ගෝශන එක එක්කෙනාගේ උවමනාවට කරපු දේවල්. මොකද ධීවරයෝ ඔහොම කිරීමේ ලොකු අවශ්‍යතාවක් මටනම් පේන්නෙ නෑ. මාළු මිළ වැඩිකරාම ඉවරයි. මිනිස්සු නොකා ඉන්නවද? මාළු වලට පාලන මිලක් නැහැ නේද?"

ඉහතින් දැක්වෙන්නේ අභීත අයියගේ   "ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න " බ්ලොග් එකට මම දාපු කමෙන්ට් එකකට පිළිතුරක් විදියට ඇනෝ කෙනෙක් දාපු පිලිතුරේ කොටසක්..ඇනෝගේ සම්පූර්ණ කමෙන්ට් එක බලන්න ඕන නම් මෙන්න ලින්ක් එක.. 


http://tikakhinawenna.blogspot.com/2012/02/blog-post_17.html

මුළු කමෙන්ට් එකම සඳහන් නොකරේ එතකොට මට ඒ කමෙන්ට් එකේ තව තව ඒවා පැහැදිලි කරන්න වෙන නිසා..මම හිතන්නේ ඒ ඇනෝ මේක දැක්කොත් අවුලක් හිතන එකක් නෑ කියලා.. 

කලබල වෙන්න එපා.. මම හිතන්නේ මට මේ ලිපිය ලියන්න අයිතියක් තියෙනවා. මමත් ධීවර පවුලකින් පැවත එන එකෙක්.අපේ තාත්ත මට ඉගැන්නුවේ මාළු විකුණලා හොයාගත්ත සල්ලි වලින්.මම ඒක කියන්න ලජ්ජා වෙන්නේ නෑ.මොකක් හරි කරුමෙකට ඉගෙන ගෙන මේ වගේ තැනකට ආවට,මමත් ධීවර පවුලක එකෙක් තමයි කියලා කස්ටිය දැන ගන්නවා නම් මම කැමතියි... මේ ෆොටෝ එකේ තියෙන්නේ අපේ ගමේ යාත්‍රා කීපයක්. මෙතැන යාත්‍රා බොහොමයක් අඩුයි ඉතින්. (ඒ මම ෆොටෝ එක ගත්ත වෙලාව නිසා.)




මම ඒ විස්තර කිව්වේ
මම මගේ මතය ඉදිරිපත් කරන්නේ  ඔය සමහර දාර්ශනිකයෝ වගේ,මේසේ ඉස්සරහ වාඩි වෙලා ඉඳගෙන ,හීන ලෝකවල ඉඳගෙන නෙවේ කියල ඔයාල දැන ගන්න ඕන නිසා.මම මේ ලිපිය ලියන්නෙත් මේ කර්මාන්තයේ යෙදෙන මිනිස්සු එක්ක කතාබහ කරලා එයාලගෙන් ගන්න අදහස් වලින්. එයාල බ්ලොග් කියවන අය නෙවේ. ඉතින් එයාල වෙනුවෙන් උත්තර දෙන එක මගේ යුතුකමක්..

ලිපිය ගොඩාක් දිග වෙන නිසා, මම හිතුව මේක කොටස් කීපයක් විදියට දාන්න.. කවුරු කියෙව්වත් නැතත් මම කැමතියි ඒ පෝස්ට් ටික මාත් සමඟ සංවාදය ගොඩ නගපු සහෝදර ඇනෝ ඇවිත් කියවල යනවා නම්....ආහ් හැබැයි කියවලා විතරක් මදි ඇනෝ,,ඔයාගේ  අදහසත් කියලම යන්න ඕන. හොඳද??..නැත්තන් මට අවුල් වගේ නේ..එහෙනම් ඔන්න මම දැන් මේ ලිපි පෙලේ පලමුවෙනි කොටස පටන් ගන්න හදන්නේ.


මේ කොටසේදී මම  කරන්නේ මගේ ඉදිරි ලිපි පෙළ ගැන හැඳින්වීමක් විතරයි.ඉතින් ඇනෝ හරි කවුරු හරි මේක බැලුවනම් කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.මට කමෙන්ට් ඕන නිසා මෙහෙම කියනවා නෙවේ..මම පන දාගෙන ලියන මේ ලිපි පෙළ මොකෙක්වත් කියවන්නේ නැත්තන්,මට මේක ලියන එක පැත්තකට දාල මගේ වැඩක් කරගෙන ඉන්න පුළුවන් නිසා තමයි මම එහෙම කිව්වේ..

ආණ්ඩුවට බැනල වැඩක් නැති නිසාත්,තෙල් මිල ගැන කතා කරන්න තරම් දෙයක් මං දන්නේ නැති නිසාත්,මම මෙතැන කතා කරන්න යන්නේ,මාළු සම්බන්ධයෙන් මාතෘකාව විතරයි.
ඇනෝට දැන ගන්න ඕන වුනෙත් ඒක නේ. (ආහ් තව එකක් මම මිරිදිය ධීවර කර්මාන්තය ගැනත් මේ වෙලාවේදී කතා කරන්නේ නෑ , මොකද මම ඒ ගැන වැඩිය දන්නේ නැති නිසා. ).ඉතින් මේ ගැන අපි පියවරෙන් පියවර කතා කරමු.මම මේ ලිපි පෙළ සාකච්චා කරන්න යන්නේ මෙන්න මේ මාතෘකා යටතේ..

1.කවුද මේ ධීවර ජනතාව සහ ධීවර ව්‍යාපාරිකයන්?
2.මාළු වෙළඳාම ගැන ඔබ දන්නේ මොනවාද ??
3.ධීවර කාර්මිකයන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ ආදායම් හා වියදම් මොනවාද??
4.මාළු සඳහා මිල නියම වන්නේ කෙසේද??
5.තෙල් මිල ඉහල යාමෙන් මාළු මිලට බලපෑමක් ඇතිවන්නේ කෙසේද??
6.මාළු මිල ඉහල දැමීමෙන් මේ සඳහා විසඳුම් සෙවිය හැකිද??

මීට අමතරව, තව සඳහන් කරන්න ඕන කියල ඔයාලා හිතන කරුණු තියෙනවා නම් මට කියන්න.මම ඒ ගැන හරියටම දන්නේ නැත්තන්, ධීවර මහතෙක්ගෙන් අහල දැනගෙන හරි මේකේ දාන්නම්..ඉතින් පෙරවදනට මේ ඇති වගේ නේද??. 


ප.ලි.

බ්ලොග් ලියන එක පැත්තකට දාල හිටපු මම ආයි ලියන්න ගත්තේ දයාබර ඇනෝ නිසා..මේ ලිපි පෙළ ඉදිරියට යන්නේ ප්‍රතිචාර මත තමයි.ඉතින් ඇනෝ ඔයාට මෙතැන සංවාද ගොඩනගන්න වගේම ඔයාගේ වටිනා අදහස් දක්වන්න මම ආරාධනා කරනවා.. නොකර ඉන්න එපා.. කිසිම කික් එකක් නැතුව මට මේක ලියා ගන්න අමාරුයි..

තව එකක්. මේකේ ලිපි පෙළක් කියල කිව්වට සමහර විට තව පෝස්ට් දෙකකින් , තුනකින් මේක ඉවර වෙන්නත් පුළුවන් හොඳේ..

Saturday, January 28, 2012

කතා නොකරන කතාව


"දිස්ත‍්‍රික් කුසලතාව ගණනය කිරීමේදී සිදුවූ දෝෂය විභාග ප‍්‍රතිඵල ගණනය කිරීමේ අවසන් පියවරේදී මතුවූවක් මිස ,
දත්ත ඇතුළත් කරන අවස්ථාවේ සිදුවූවක් නොවේ"...

ඉහත දැක්වෙන්නේ උසස් පෙළ ප්‍රථිපල අවුල ගැන හොයන්න පත් කරපු විද්වත් කමිටුවේ අන්තිම තීරණය යි.මේ තීරණය හරිද වැරදිද කියල කතා කරන්න කලින් මේ සිද්ධිය දැනට අමතක වෙලා තියෙන අයට මම පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්.

සිසුන් දෙලක්ෂ අනූ හතර දහස් අටසිය හැට එකක් (294 861 ) පෙනී හිටපු 2011 උසස් පෙළ විභාගය අගෝස්තු 8 වනදා සිට සැප්තැම්බර් 3වනදා දක්වා පැවැත්වුනා. මේ විභාගෙ පැවැත්වුනේ විෂය නිර්දේශයන් දෙකක් ( ඒ කියන්නේ නව සහ පැරණි ) යටතේ .

කොහොම හරි මේ විභාගේ ප්‍රතිපල එන්න දවසින් දවස කල් ගියා. ඒගැන අපට වඩා හොඳට දන්නවා ඇත්තේ විභාගේ කරපු අපේම නංගිලා මල්ලිලා සහ එයාලගේ අහිංසක දෙමව්පියෝ. ඒකට හේතුව වුනේ මේ විෂය නිර්දේශයන් දෙකෙන්ම විභාගයට පෙනීහිටපු සිසු සිසුවියන් සඳහා ගැලපෙන ආකාරයේ z score ක්‍රමයක්, අපේ අති උතුම් විභාග දෙපාර්තමේන්තුවට හදා ගන්න බැරි වුන එක . ඉතින් මේ ගැටලුව විසඳන්න පත් කරගත්තා තව කමිටුවක්. මේ කියන්නේ අර විද්වත් කමිටුව ගැන නෙවේ.
(අපේ රටේ ප්‍රශ්න විසඳන්න තියෙන හොඳම ක්‍රමේ තමයි ඔය කමිටුවක් පිහිටුවන එක)

මේ තියෙන්නේ ඒ කමිටුවේ එක් සාමාජිකයෙක්ගේ ප්‍රකාශයක්..

අපි කමිටුවේ සිටි සියලූම දෙනා මේ විෂය ක්ෂේත‍්‍රය පිළිබඳ ලංකාවේ සිටින ඉතාම දක්ෂයන්. ඔවුන් ඒ කාර්යය ඉතාම හොඳින් සිදුකළා. සංඛ්‍යාන විද්‍යාවේ තිබෙන ලෝකයම පිළිගත් සූත‍්‍රයක් අපි මේ සඳහා භාවිත කළා. මේ සියලූ දේ සඳහා දවස් දෙකක කාලයක් තමයි ලැබුණේ. දිවා රෑ නොබලා වෙහෙසිලා ප‍්‍රතිඵල ඉතාම නිරවද්‍ය අයුරින් අසාධාරණයක් නොවන විදිහට ලබා දෙන්න අපට හැකි වුණා. ඉතාම සුළු පිරිසකට ස්ථාන තුනක් හතරක් එහා මෙහා වීමක් සිදුවුණා. ඒක අපි ඉතාම සූක්ෂමව සිදුකළේ. එවැනි දේවල් සිදු නොවී මේ කාරණය කරන්න බැහැ.

එහෙත් විශ්වවිද්‍යාල ප‍්‍රවේශයේ අවම සුදුසුකම් ලබාගත් ළමයින් ගැන සහ මෙරිට් ගත්තු ළමයි ගැන අපි ඉතාම අවධානයෙන් තමයි කටයුතු කළේ. ලංකාවේ ඉතාම හොඳම ප‍්‍රතිඵල ලබාගත් 40% ගැන ඒ කියන්නේ මෙරිට් ගත්තු ළමයින්ට නම් ඉහත කිව්ව ආකාරයේ අසාධාරණයක්වත් සිදු නොවෙන්න අපි කටයුතු කළා. එයාලගේ ප‍්‍රතිඵල නම් කිසි සේත්ම එහා මෙහා වුණේ නැහැ. ප‍්‍රතිඵල සම්බන්ධයෙන් උද්ගත වුණු ප‍්‍රශ්නය නම් z අගය හෝ ප‍්‍රතිඵල පිළිබඳ ගැටලූව නෙමෙයි. තාක්ෂණික දෝශයක්.

මම සංඛ්‍යාන විද්‍යාව ගැන මෙලෝ හසරක් දන්නා එකෙක් නෙවේ. ඒ නිසා මේ උත්තමයාගේ ප්‍රකාශය විවේචනය කරන්න මට අයිතියක් නෑ. ඒත් එතැන මහා අමුත්තක් තියෙනවා වගේ කියලා මට හිතෙනවා... උදාහරණ විදියට මෙන්න මේ කරුණු 3:

1. ඉතාම සුළු පිරිසකට ස්ථාන තුනක් හතරක් එහා මෙහා වීමක් සිදුවුණා. ඒක අපි ඉතාම සූක්ෂමව සිදුකළේ. 

2.ලංකාවේ ඉතාම හොඳම ප‍්‍රතිඵල ලබාගත් 40% ගැන ඒ කියන්නේ මෙරිට් ගත්තු ළමයින්ට නම් ඉහත කිව්ව ආකාරයේ අසාධාරණයක්වත් සිදු නොවෙන්න අපි කටයුතු කළා.එයාලගේ ප‍්‍රතිඵල නම් කිසි සේත්ම එහා මෙහා වුණේ නැහැ.

3.ප‍්‍රතිඵල සම්බන්ධයෙන් උද්ගත වුණු ප‍්‍රශ්නය නම් z අගය හෝ ප‍්‍රතිඵල පිළිබඳ ගැටලූව නෙමෙයි.

මේකේ පළමු හා තුන්වැනි කරුණු දැක්කම නිකන් පොඩි පරස්පර ගතියක් මට නම් ආව. ඒ මගේ නොදැනුවත්කම නිසාද දන්නේ නෑ හැබැයි. ඊළඟට මට ආපු ප්‍රශ්නේ මේ ඉතාම සුළු පිරිසට z අගය හදනකොටයි, අර ඉතා දක්ෂ පිරිසට z අගය හදනකොටයි වෙන වෙන පියවර අරන් තියෙන්නේ ඇයි කියලා. සංඛ්‍යාන විද්‍යාව ගැන දැනුම තියෙන කෙනෙක් මේක දැක්කොත් පුළුවන් නම් "තේරෙන විදියට " මටත් ඒක කියල දෙන්න.

අන්තිමේ දෙසැම්බර් 25 වැනිදා අපේ ආදරණීය නංගිලා මල්ලිලාගේ ප්‍රතිපල අන්තර්ජාලයට නිකුත් වුනා.. ඒ අන්තිම විහිළුසහගත විදියට. සමහර අයගේ ප්‍රතිපල වැරදියි, තව සමහර අයගේ පෙනී හිටපු විෂයන් වැරදියි, එක විකාරයයි.

අහක ඉන්න සමහරෙක්ට පෙනුනේ ඒකෙ විහිළුසහගත බව විතරයි. ඒත් විභාගේ ලියපු බොහොමයක් නංගිලා මල්ලිලාට, එයාලගේ අම්මලා තාත්තලාට ඒ විහිළුසහගත බව නම් දැනෙන්න ඇත්තේ පපුවේ පත්තු වුන මහා ගින්දරක් වගේ. මේ ගින්දර යම් තාක් දුරට අත්දැකපු එකෙක් මම..  මේ විභාග දෙපාර්තමේන්තුවේ උත්තමයන් මගේ රිසල්ට් එකට දීපු ආතල් එක නිසා මගේ අම්මයි, තාත්තයි, මමයි විඳවපු හැටි මට තාම මතකයි..

ඔන්‍න‍ ඔය ප්‍රශ්නේ ආවම අපේ අතිගරු ජනාධිපතිතුමා තවත් කමිටුවක් පිහිටෙව්වා. ඒකට නමකුත් දැම්මා විද්වත් කමිටුව කියලා.. ශෝක් නම හැබැයි මොනවා වුනත්. මේ තමයි ඒ කමිටුව

1.තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ ලේකම් ධාරා විජේතිලක මහත්මිය
2.කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය හිරිඹුරේගම,
3.මොරටුව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන
4.ඌව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් පේ‍්‍රමලාල් ද සිල්වා,
5.රාජකීය විද්‍යාලයේ විදුහල්පති උපාලි ගුණසේකර


එයාල ගත්ත තීරණේ තමයි ඔය මම ලිපිය පටන් ගනිද්දිම සඳහන් කරේ. එයාල තව තව විසඳුම් වගයකුත් දුන්න. එයින් එකක් තමයි මීට පස්සෙවත් ටිකක් අලුත් මෘදුකාංගයක් මේ වැඩවලට පාවිච්චි කරපිය කියන එක.ඊට අමතරව රජයෙන් වෙනදා වගේම ළමයින්ව දැනුවත් කරා recorrection දාපන් කියලා. ඉතිහාසයේ පෙර නොවිරූ තරම් recorrection ආවා. පට්ට ගානක් රජයට සෙට් වුනා... එතනින් පස්සේ ඒ පැත්තෙන් කතාව ඉවරයි...

පුද්ගලික විශ්වවිද්‍යාල පනත ගේන දවස්වලම මේ සිද්දිය වුන නිසා ගොඩක් අය මේක ගැනත් ඒ එක්කම කතා කරා.. නිදහස් අධ්‍යාපනයට මොකද්ද මේ වෙන්න යන්නේ කියලා හොයල බැලුවා. රජයට, එස් බීට පලු යන්න බැන්න. රජයේ විභාග පද්ධතිය කෙරේ ජනතාවගේ විශ්වාසය බිඳලා පුද්ගලික විශ්වවිද්‍යාල වලට මිනිස්සු අද්දගන්න තමයි මේ හදන්නේ කියලා කිව්වා.
හැබැයි එක පාරටම පුද්ගලික විශ්ව විද්‍යාල පනත ඩොට් වුනා.
ඒ එක්කම මේ ගැන කතා කරන උන් ටිකත් ඩොට් වුනා. සමහර facebook group දැන් තියෙනවද දන්නේත් නෑ.. පන දාගෙන ඒ group වල ඒවා share කරපු උන් දැන් ශිහාන්ගේ weddin එකයි,කජුවත්තේ එක එක මගුලුයි ශෙයා කරනවා..
මොකද ගොඩක් උන්ට නිදහස් අධ්‍යාපනය මතක් වෙන්නේ ප්‍රයිවට් යුනි එකක් ගේනවා කිව්වම විතරයි.(මම කියන්නේ හැමෝම ගැන නෙවේ ). ඒ පැත්තෙනුත් කතාව ඒ විදියට ඉවරයි..

ටික දවසක් යනකන් z score ක්‍රමය ගැන සිරසෙන් සෑහෙන්න සීන් ඇද්දා. මහාචාර්ය තටිල්ට , දොස්තර රාජිත බැනපු හැටියි, මහාචාර්ය තටිල් ඒවාට උත්තර දෙන හැටියි ලස්සනට news firstවල පෙන්නුවා ගොඩක් වෙලා. මහාචාර්ය තටිල් මේක වැරදියි කියා කියා සෑහෙන්න කිව්වා.මේ z ක්‍රමය පාවිච්චි කරලා රිසල්ස් දීපු උනුත් මහාචාර්යතුමා මෙහෙම කියද්දී සද්ද නැතුව හිටිය මිසක් උත්තර දෙන්න ආවේ නෑ නේද?? ඒ මහත්තුරු මොනවා වෙලාවක වත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරේ නෑ යොදාගත්ත සූත්‍රය මොකද්ද කියලවත්...

ඕන නම් මේක වෙනුවෙන් දෙමව්පියන් සමඟ උසාවියේ පෙනී සිටින්න වුනත් තමාට පුළුවන් කියලා මහාචාර්ය තටිල්  ප්‍රකාශ කරා.. හැබැයි එතුමා මේ වැරැද්ද හදන්න විසඳුමක් දෙනවා මම දැක්කේ නෑ. දැකපු කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් එතුමාගේ විසඳුම කමෙන්ට් එකක් විදියට මේකේ සඳහන් කරන්න කියලා මම ඉල්ලනවා.

ආහ් තව එකක්,
අනුර එදිරිසිංහ මහත්තයා නම් අපි හැමෝටම තේරුම් ගන්න පුළුවන් ව්දියට ඒ සූත්‍රය විස්තර කරා.( බලන්න ඕන නම් මෙන්න http://www.youtube.com/watch?v=P5jEZ3udNZ8 ) අපි ඒ ගැන එතුමාට ස්තූතිවන්ත වෙන්න ඕන..
ඒ කතාවත් එහෙමම ඉවරයි.

එතකොට දැන් ඉතිරි කතාව මොකද්ද????

ඉතිරි කතාව තමයි අපට ටීවී එකේ නොපෙනෙන කතාව. facebook එකේ ශෙයා නොවෙන කතාව. බොහොමයක් දෙනාට වින්දනයක් නොගෙනෙන කතාව. ඔව් . ඒ , කතාව තමයි මේ පව ගෙවන්න සිද්ධ වුන ආදරණීය නංගිලා , මල්ලිලාගේ කතාව. එයාල ගැන බලාපොරොත්තු පොදි බැඳපු අහිංසක දෙමව්පියන්ගේ කතාව.ඒ කතාව අර කතන්දර වගේ ලේසියෙන් ඉවර වුනේ නෑ.. අදටත් තමාගේ ප්‍රතිපලය අදහාගත නොහැකිව අසරණ වුන නංගිලා මල්ලිලා ඕන තරම් ඉන්නවා.. තමන්ගේ දරුවන් විඳවන හැටි දැක දැක කරන්න කිසි දෙයක් නැතුව හිතින් දුක් විඳින අම්මලා තාත්තලා ඕනතරම් ඉන්නවා. මේ හුදු හිතළු නෙවේ. ඇත්තටම මේ වගේ අය මට මුණ ගැහුනා. ඒත් එයාලට මේ වෙනුවෙන් කරන්න දෙයක් තියෙනවද කියලා මම නම් දන්නේ නෑ.. 

recorrection එනකන් බලන් ඉන්නත් බෑ. මොකද ඊළඟ වතාවේ විභාගය කරන්න වුනොත් කාලය මදි වෙන නිසා..recorrection  එනකන් උපකාරක පන්ති යන එකත් ආර්ථිකව දුර්වල සිසුවෙක්ට ප්‍රායෝගික නෑ නේද? විභාගය ඉතා හොඳින් කල බව දැන දැනත් නැවත සැරයක් විභාගෙට සැරසෙන්න සිදු වූ විට ඇති වන්නේ මොන වගේ හැඟීමක්ද කියලා , ගොඩ දෙනෙක්ට අදහසක් නැතුව ඇති. (මට නම් තියෙනවා.)
දන්නා හැටියට මේ ගැන නඩුවක් දානව නම් results ඇවිත් දවස් 30 ක් ඇතුලත දාන්න ඕන. නඩු දාන එකත් හැමෝටම කරන්න අමාරුයි. මොකද නඩුවක් දානවා නම් හොඳට වියදම් කරන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නත් ඕන .recorrection වලින් results වෙනස් වෙනවා. ඒක මම නෑ කියන්නේ නෑ. ඒත් මේ පාර විද්වත් කමිටුවත් ප්‍රතිපලවල අවුලක් නෑ කියල කිව්වට පස්සේ recorrection වලින් අපේ සහෝදර සහෝදරියන්ට සහනයක් ලැබෙයි කියලා හිතනවද??  (විද්වත් කමිටුව මේ නිගමනයට එන්න z score නැවත සමීක්ෂණයක් කරේ නෑ මම දන්නා තරමින් නම් )

මේවට අපට කරන්න පුළුවන් මොනවද කියලා මම දන්නේ නෑ. ඒත් මතක තියාගන්න ඕන,මේ විදියේ  විසඳුනේ නැති ප්‍රශ්නයක් තාම අපේ රටේ තියෙනවා කියන එක. මේ ප්‍රශ්නය නිසා දවස ගානේ අපේ සමහර අහිංසක නංගිලා මල්ලිලා මැරී මැරී ඉපදෙන බව. මේ එක්කෙනෙක් හරි මේ ප්‍රශ්නය දරා ගන්න බැරුව උමතුභාවයට පත් වුනොත් හරි , ජීවිතේට මොකක් හරි අනතුරක් කරගත්තොත් හරි ඒකට කවුරු වත් වග කියාවිද?? නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්, පුද්ගලික විශ්ව විද්‍යාල පනතට එරෙහිව මහා ව්‍යාපාරයක් facebook එක තුලත් විශ්වවිද්‍යාල තුලත් දියත් වුනා. ඒත් මේ සිද්ධියට එහෙම ඒ තරම් ව්‍යාපාරයක් දැන් ගොඩනැගිලා නෑ නේද? නැත්තන් ඒ මට පේන හැටිද??

දැන් ප්‍රශ්නය 100 % ක්ම විසඳිලා කියලා ඔබ සිතා ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් පොඩ්ඩක් හොයලා බැලුවොත් ඇත්ත තත්ත්වය බලාගන්න පුළුවන් වේවි. අපි මේ අයට ශක්තියක් වෙන්නේ කොහොමද කියලා නීතිය දන්නා කෙනෙක් හරි, මේවා ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් හරි , පොඩ්ඩක් මේ අයට ගන්න පුළුවන් හොඳම තීරණය මොකද්ද කියලා  දැනුවත් කරන්න පුළුවන් නම් ඒක එයාලට ගොඩක් ලොකු උදව්වක් වේවි.....


Thursday, December 8, 2011

මේ නැවතත් "අපි වෙනුවෙන් අපි " කියන්න කාලයයි.......


      නොවැම්බර් 25... ඒ මාතර අපිට , බොහෝ දෙනෙක්ට අමතක නොවෙන දවසක්..  මහා සුළි සුළඟක් හිත්පිත් නැතුව ඇවිදින්අපේ ධීවර ජනතාවගේත්, තවත් අසරණයන් කීප දෙනෙකුතගේත් ජීවිත බිලි ගත්තේ එදින ය.. නමුත් ඒ සිද්දිය දැනටමත් බොහෝ දෙනෙක්ට අමතක වී ඇති සැටියකි.. එයට හේතුව බහුතරයක් මිය ගොස් ඇත්තේ, රටේ බොහොමයක් ජනතාව හඳුන්වන ආකාරයට "මාළුකාරයෝ"  වූ නිසා ද, එසේත් නොමැති නම් මේ පිලිබඳ සොයා බැලුවහොත් ලොකු ලොක්කන් කීප දෙනෙකුටම තම තමන්ගේ  "පුටු" වලට ආයුබෝවන් කීමට සිදු වන නිසාදැයි මම නොදනිමි.. කෙසේ වුවද අවසාන ප්‍රතිපලය වී ඇත්තේ මේ අසරණ ජනතාව කාට කාටත් අමතක වී යාමය... (පක්ෂ විපක්ෂ සියලු දෙනාටම )

ඔබලා සරලව හඳුන්වන මේ මාළුකාරයෝ යනු කවුරුද??? 


මොවුන් කුඩා කල සිටම ධීවර රැකියාවට යොමු වූ පුද්ගලයන් ය.. පාසල් අධ්‍යාපනය ගැන උනන්දුවක් නොමැති වුවත් ධීවර දැනුම අතින් නම් ඔවුන් කාටවත් දෙවැනි නැත..ඔවුන් කවදාවත් බෝක්කු , කානු පල්ලේ රස්තියාදු ගැසීමට, හොරකම් මංකොල්ලකෑම් වල යෙදීමට , කුඩු ගැසීමට යොමු වුවන් නොවේ.අභිමානවත් ලෙස , කාටවත් අත නොපා ජීවත් වන මිනිසුන් පිරිසකි. තමාගේ ශක්තිය, දහදිය , මහා මුහුදට දිය කරමින්, මහා මුහුද හා හැප්පෙමින්, තමන්ගේ පවුල නඩත්තු කිරීමට ඔවුන් විඳිනා දුක තේරුම් ගැනීමට නම් එක් රාත්‍රියක් හෝ ඔබ ඔවුන් සමඟ බෝට්ටුවක ගොස් ඒ අත්දැකීම විඳ බැලිය යුතු ය...එම රැකියාව ඔවුන් කරන්නේ කැමැත්තෙනි.. සුනාමි , සුළිසුලන් කොපමණ ආවත් මෙම රැකියාව  අත්හැර දැමීමට ඔවුන් සුදානම් නැත.. එම අනතුරුවලින් නොමැරී බේරුනහොත් දින කීපයකට පසු ඔවුන් නැවතත් රැකියාවේ යෙදෙනු අපට දැක ගත හැකිය..

මා මේ ලිපිය ලියනුයේ ධීවර ජනතාව ගැන ඔබට දේශනයක් දීමට නොවේ.. 

පසු ගිය දින හමා ආ සුලිසුළඟ නිසා වැලිගම කප්පරතොට-බණ්ඩාරවත්ත ප්‍රදේශයේ පමණක් ධීවර මහතුන් දස දෙනෙක් ජීවිතක්ෂයට පත් විය.තවත් බොහෝ දෙනෙක් අතුරුදහන්ව ඇත.. බොහෝ දෙනෙක්ට පෙනෙන්නේ මියගොස් ඇති ධීවර මහතුන් ප්‍රමාණයත්, අතුරුදහන්ව ඇති ධීවර මහතුන් ප්‍රමාණයත් පමණි....ගෘහ මූලිකයන් අහිමි වීම තුලින් අනාත වූ පවුල් ප්‍රමාණය කවරුවත් නොදකී.... මෙවන් ධීවර ගම්මානවල බොහෝ විට පියා ගමන් කරන ධීවර යාත්‍රාවේම පවුලේ වැඩිමහල් පිරිමි දරුවන්ද ගමන් කිරීම සුලබවම සිදු වන්නකි.. එබැවින් යාත්‍රාවක්‌ අනතුරකට පත් වුවහොත් පවුලේ බර කරට ගැනීමට කිසිවෙකුවත් ඉතිරි වන්නේ නැත.. ඒ සුළඟ නිසා මේ සංසිද්දිය පැහැදිලිවම මේ දිනවල අපේ ගමේ දැකගත හැකි වී ඇත.. ගෘහ මුලිකයන් අහිමි වීම තුලින්, පවුල් වලට අත් වී ඇත්තේ අතිශය ශෝචනීය ඉරණමකි...

අද හම්බ කරන දේ අදම ඉවරයක්‌ කරනවා මිසක ඉතිරි කිරීමක් ගැන නම් ධීවර ජනතාව සිතන්නේ නැත. කෙතරම් උත්සාහ කළද ඔවුන්ගේ එම පුරුද්ද නැති කර ගැනීමට ඔවුන්ට නොහැකි යයි ඔවුන් සිතයි.. (අත්දැකීමෙන් දන්නා දෙයකි.. සමහරවිට වෙනත් ප්‍රදේශ වල ධීවර ජනතාව මීට වඩා වෙනස් කලෙස හිතනවා විය හැක..)එබැවින් මෙවන් විපතක් වූ විට ඔවුන් පත් වන්නේ අන්ත අසරණ තත්ත්වයකටය... ඔවුන්ගේ ජීවන රටාව විවේචනය කරමින් සිටිනවාට වඩා අප දෙයක් කිරීමට ඉදිරිපත් විය යුත්තේ ඒ නිසා ය.
 
පවතිනා රජය විවේචනය කිරීමට මට උවමනාවක් නැතිමුත්, ඔවුන් මෙම ධීවරයන් කෙරේ දක්වන සැලකිල්ල නම් ඉතා කනගාටුදායක බව කිව යුතු ය. සෝබන වැඩ වලට අනන්තවත් වියදම් කළද, එක් මරණයක් සඳහා ඔවුන් ලබා දුන්නේ රුපියල් 15 000 ක මුදලක් පමණි. අතුරුදහන් වූවන් සඳහා වන්දි ගෙවීමක් සිදු වී නැත. මෙම 15000 දීමේදී සිදු වූ අක්‍රමිකතා ගැන දන්නා නමුදු ඔප්පු කිරීමට ඇත්තේ වාචික සාක්ෂි පමණක් බැවින් ඒ ගැන සඳහන් නොකරමි ) වඩාත්ම විහිලුව වන්නේ ආපදාවට පත් ජනතාවට පානිය ජලය බෝතල් ආධාර ලෙස බෙදා හැරීමය...ඔවුන් සිතන්නේ අපට නියඟයක් ආවා කියා විය හැකිය...(පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනා කළේ මළගෙවල් නිරීක්ෂණය කර නික්ම යාම  පමණි..)

එබැවින් මා ඔබෙන් ඉල්ලා සිටින්නේ මෙවන්නකි....

මේ අන්ත අසරණ වූ ජනතාවට ඔබගේත් මගේත්, උදව් අවශ්‍යවී ඇති මොහොතයි. ඔවුන්ව පාච්චල් කරමින් ඔවුන්ට ලබා දෙන සොච්චම් ආධාරවලට වඩා දෙයක් මේ ජනතාවට මේ මොහොතේදී අවශ්‍ය බව කාට නැතත් සංවේදී ඔබට වැටහේ යයි මම සිතමි.  ඉතින් කාරුණික ඔබ සැමගෙන් මා ඉල්ලන්නේ මේ අසරණ ජනතාවට උපකාර කිරීමට පෙළ ගැසෙනා මෙන්ය. ඔවුන්ව ජීවිත කාලය පුරා නඩත්තු කිරීමට මුදල් ඔවුන් ඔබෙන් බලාපොරත්තු වන්නේ නැත.. ඔවුන්ට වඩා යහපත් හෙටක් උදා කිරීම උදෙසා අපි මේ අවස්ථාවේදී උදව් කල යුතු ය..කෙසේ වුවද ධීවරයන් අභිමානවත් ය.. ඔබ ඇඳ ඉවත හෙලන ඇඳුම් ඇඳීමට ඔවුන් කැමති නැත. එබැවින් මම එවැනි උපකාර ඔබෙන් නොඉල්ලමි.

රුපියල් 100 කින් හෝ මොවුන්ට උදව් කිරීමට ඔබට හැකි යයි මා සිතමි...ඔබගේ එක් රීලෝඩ් එකක මුදල ඔවුන්ගේ එක් කෑම වේලක වියදම විය හැකි නොවේද?? මෙහි පැමිණිය හැකි අය වේ නම් මට ඔවුන්ට ආධාර අවශ්‍ය පවුල් ගැන සියලු විස්තර පිළබඳව දැනුවත් කල හැක.. ඔවුන්ගේ වර්තමාන තත්ත්වයන් පිලිබඳ ග්‍රාමසේවක මහතකු හරහා ඔබව දැනුවත් කිරීමට වුවද කටයුතු කල හැක...

මෙහි කිසිම පටු දේශපාලනික අරමුණක් හෝ ලාභ උපයා ගැනීමේ අරමුණක් නැත.. (ඔබ කරනා ආධාර අන්තිම සතය දක්වා යොදන්නේ කුමන ආකාරයෙන්දැයි ඔබට දැනගත හැකිය..)..එබැවින් යමෙක්  එවැනි මෝඩ කතා කියමින් මේ ක්‍රියාවලිය හෙලා දකිනාවට වඩා ආධාර නොදීමට තීරණය කරන්නේ නම් මැනවි යයි මට සිතේ...

ආධාර කිරීමට කැමති අය වෙතොත්.
ravinyasitha@yahoo.com 
යන මගේ විද්‍යුත් තැපෑලට දන්වන මෙන් ඉල්ලා සිටිමි. ඔවුනට මම මේ ජනතාවට උදව් කළ හැකි ආකාරය පිළිබඳව වඩාත් විස්තර ඉදිරිපත් කිරීමට බලාපොරත්තු වෙමි..මේ ක්‍රියාවලිය ගැන  ඔබට ඇති සියලුම ප්‍රශ්න,යෝජනා, චෝදනා ඉදිරිපත් කරන මෙන් ද මම  ඉල්ලා සිටිමි..

ඔබ මේ කෙරේ අවධානය දක්වනු ඇතැයි බලාපොරොත්තු වෙමි......




 


Wednesday, December 7, 2011

සුළඟ.......

පරණ සුළඟම අලුත් විදියට 
හමා ආවත් මිතුරු විලසට 
විඳිනු බෑ එහි තිබෙන සිසිලස 
කිමද මේ මට දැනෙන අරුමය....

හිරු කිරණ සඳ කුමරි නහවන
අඳුරු රෑ ගන අඳුර බින්දත්....
නොම දනී සඳ කුමරි නම් එය
පෙම් බඳී ඇය සිකුරු තරුවට.....

සිහින මන්දිර නොහැදුවේ මම
කාසි කහවනු නැති නිසාමය.....
අදත් සදනා සිහින මන්දිර
එදා සිහිනෙට දෙවෙනි නම් නැත.............



Monday, December 5, 2011

කොකා , ගප්පියෝ, සහ මම ( සත්‍ය කතාවක් නොවේ...)



අපේ වත්තේ එක මුල්ලක - ලොකුවට සරුවට හැදිච්ච
 

නම හරියට දන්නේ නැති - ගහක් තියෙනවා........

පොඩියට ගැඹුරට හදාපු - කොළ පාටට වතුර පිරුණු 
හැඩයක් නැති පොකුණ තිබුනේ - ඒ ගහ හෙවනේ........

කාලයකදී පොකුණ පුරා - කොරලි මාළු පිරිලා හිටියා 
ලෙඩක් හැදිලා උන් ඔක්කොම - මැරිලා ගියා නේ.....

දැන් නම් ඒ පොකුණේ ඉන්නේ - ගප්පි මාළුවෝ විතරයි
හරිම ජයට මේ ගප්පියෝ - පොකුණේ බෝ වුනා ....

සාරි තියෙන හොඳම ගප්පි- සාරිය නැති කානු ගප්පි 
ලොකු පොඩි හැම සයිස් එකෙන් - පොකුණේ ඉන්නවා......

කාලය ගත වෙලා ගියා - ගප්පියෝ සතුටෙන් හිටියා 
කොකෙක් ඇවිත් උන්ගේ සතුට - වනසලා දැම්මා......

කොහෙන් ඉඳංදෝ ඇවිදින් - මේ තඩි කණකොක් තඩියා 
දවස ගානේ උදේ හවා - ගප්පි ගිලිනවා.....

පොකුණේ නෙලුම් කොලයක් නෑ - ගප්පියොන්ට හැංගෙන්නට 
කොකාට නම් ෆුල් ආතල් - දන්සැලක් වගේ.......

ඌත් හරිම පුදුම කොකෙක් - සාරිය නැති ගප්පි සොයා 
තෝරාල පරෙස්සමට - ගිලලා දානවා......

සෝබන කාරයොන්ට නම් - කොකා වුනත් කැමති වගේ 
කොතැන ගියත් නැති එකාට - කනට වදිනවා....

ඕව හිතලා වැඩක නෑ නේ - මොනවා හරි කරන් ඕන 
මම ගප්පියෝ බේරා ගන්න - ප්ලෑනක් ගැහුවා....

තනියම කරනවාට වඩා - තව අයගෙන් අහල බලල 
හොඳම වැඩේ කරන්න මම - තීරණය කරා...

කොකා ඇවිත් මාළු ගිලී - ආහාර දාමය එහෙමයි 
ඒක බිඳින එක හොඳ මදි - තාත්තා කිව්වා..... 

සංසාරේ හැටි එහෙමයි - ප්‍රබලය දුබලයාව ගිලියි 
මොනවා කරන්නද කියලා - අම්මා කිව්වා....

බොට විභාගේ නේද යකෝ- ඕව හිතන්නේ මොකට ද 
පාඩම් කරපිය කියලා - අයියා කිව්වා.....

අපි කොකාට ගල් ගහලා - මරල ඌව මස් කරලා 
හවසට අඩියක් ගහමුද - යාළුවො ඇහුවා.....

හිතා ගන්න නම් බෑ මට - මොකක් කරන්නද කියලා 
මම දුවගොස් පොකුණ ළඟට - කොකා එලෙව්වා.........