Saturday, August 20, 2016

පරිවාසය

මා සිටියේ දරුවකුගේ දතක් පුරවමින්ය..
ඒ අතරතුර, මගේ සහයක වූ සමන් සහ ඊළඟට ප්රතිකාර ගැනීමට සිටි දරුවා අතර ඇතිවූ කතාබහ මෙසේය..

පුතා ළඟදි මෙහෙට ආවෙ නැද්ද මහියංගනේ පැත්තෙ ළමයෙක්?

මම ආවෙ එහේ ඉඳන් තමයි සර්..

අර එතකොට මේ ඩෙන්ටල් බස් එක ආපු දවසෙ ඉස්කෝලේ හොරකමක් කරලා අහු වෙලා හිටියෙ ඔයාද?

ඔව් සර්..

මෙහෙ ආවට පස්සෙ ගෙදර එහෙම ගියෙ නැද්ද ?
ආ....එහෙම යන්න දෙන්නෙ නෑනේ ඉතින්...

නෑ සර්.. ඒවුනාට දැන් දවස් තුනකට කලින් මම ගෙදර ගිහින් ආවේ..

ඒ මොකද??

අපේ අම්මා නැතිවුනා සර්..

මම කරමින් සිටි ප්රතිකාරය මඳකට නවතා ඔහු දෙස බැළුවෙමි..
ඒ මුහුනේ කිසිදු හැඟීමක් නැත..

ඒ මොනවා වෙලාද?

අපේ අම්මට ලෙඩක් හැදෙනව සර්.. ඒ ලෙඩේ හැදුනම එයාට මම එයාගෙ ළඟම ඉන්න ඕන.. මේ පාර ඒ ලෙඩේ හැදුනම මම ළඟ හිටියේ නෑනෙ..
එයා මාව හොයල හොයලා බැරි වුනාම ළිඳට පැනලා මැරිලා...

තවත් කතා නොකරන ලෙස මම සමන්ට සංඥා කළෙමි..
දරුවා කියුවේ ඇත්තක්දැයි නොදන්නා නමුත් ඒ කතාව ඇසූවිට මට තේරුණේ තමා මේ පරිවාසයට එවූයේ නැත්නම් අම්මා තවමත් ජීවත් වනු ඇති බව දරුවා විශ්වාස කරන බවය..
ඒ දරුවා සමාජයට වෛර කරමින් හැදීවැඩීමට ඒ හේතුවම ප්රමාණවත් නොවේද?



සොරකම් වලට හසු වූ දරුවන්,
අතවරයන් සඳහා සම්බන්ධ වූ දරුවන්,
පාසල් නොයා කට්ටි පනිමින් සිටි දරුවන්
මත් කුඩු ජාවාරම් හා සම්බන්ධ දරුවන්
දෙමව්පිය රැකවරණය ප්රමාණවත් නොවූ දරුවන්,

ආදී සියළු ක්රියාවන්ට සම්බන්ධ වූ දරුවන් පරිවාසයේ එකට හැදී වැඩෙති.. එසේ හැදී වැඩීම කිසිම අයුරකින් ඔවුන්ගේ විනය හෝ මානසික සංවර්ධනය සඳහා පිටිවහලක් නොවන බව කිව යුතු නොවේ..

ඇතැමුන්ට උසාවි නියෝග ලැබෙන තෙක් අධ්යාපන කටයුතු ඇනහිට ඇත..
තව සමහරු වුර්තිය පුහුණුවන්හි යෙදෙති..
ගැහැණු දරුවන් ඇඟළුම් කම්හල් සඳහා පුහුණු කරවති..

ඔවුන් කුඩා කල නොතේරුම් කමට කරන වරදක් මඟින් (වැඩිහිටියන්ගේ වැරදි නිසා) ඔවුන්ගේ අනාගතය තීරණය කිරීම සාධාරණද?

හොඳ නරක නොතේරෙන දරුවන් යහ මඟට ගැනීමට මීට වඩා සුදුසු ක්රමයක් තිබිය යුතුය..