Wednesday, December 7, 2011

සුළඟ.......



පරණ සුළඟම අලුත් විදියට 
හමා ආවත් මිතුරු විලසට 
විඳිනු බෑ එහි තිබෙන සිසිලස 
කිමද මේ මට දැනෙන අරුමය....

හිරු කිරණ සඳ කුමරි නහවන
අඳුරු රෑ ගන අඳුර බින්දත්....
නොම දනී සඳ කුමරි නම් එය
පෙම් බඳී ඇය සිකුරු තරුවට.....

සිහින මන්දිර නොහැදුවේ මම
කාසි කහවනු නැති නිසාමය.....
අදත් හදනෙමි සිහින මන්දිර
එදා සිහිනෙට වඩා වැඩිපුර.............


Monday, December 5, 2011

කොකා , ගප්පියෝ, සහ මම ( සත්‍ය කතාවක් නොවේ...)



අපේ වත්තේ එක මුල්ලක - ලොකුවට සරුවට හැදිච්ච
 

නම හරියට දන්නේ නැති - ගහක් තියෙනවා........

පොඩියට ගැඹුරට හදාපු - කොළ පාටට වතුර පිරුණු 
හැඩයක් නැති පොකුණ තිබුනේ - ඒ ගහ හෙවනේ........

කාලයකදී පොකුණ පුරා - කොරලි මාළු පිරිලා හිටියා 
ලෙඩක් හැදිලා උන් ඔක්කොම - මැරිලා ගියා නේ.....

දැන් නම් ඒ පොකුණේ ඉන්නේ - ගප්පි මාළුවෝ විතරයි
හරිම ජයට මේ ගප්පියෝ - පොකුණේ බෝ වුනා ....

සාරි තියෙන හොඳම ගප්පි- සාරිය නැති කානු ගප්පි 
ලොකු පොඩි හැම සයිස් එකෙන් - පොකුණේ ඉන්නවා......

කාලය ගත වෙලා ගියා - ගප්පියෝ සතුටෙන් හිටියා 
කොකෙක් ඇවිත් උන්ගේ සතුට - වනසලා දැම්මා......

කොහෙන් ඉඳංදෝ ඇවිදින් - මේ තඩි කණකොක් තඩියා 
දවස ගානේ උදේ හවා - ගප්පි ගිලිනවා.....

පොකුණේ නෙලුම් කොලයක් නෑ - ගප්පියොන්ට හැංගෙන්නට 
කොකාට නම් ෆුල් ආතල් - දන්සැලක් වගේ.......

ඌත් හරිම පුදුම කොකෙක් - සාරිය නැති ගප්පි සොයා 
තෝරාල පරෙස්සමට - ගිලලා දානවා......

සෝබන කාරයොන්ට නම් - කොකා වුනත් කැමති වගේ 
කොතැන ගියත් නැති එකාට - කනට වදිනවා....

ඕව හිතලා වැඩක නෑ නේ - මොනවා හරි කරන් ඕන 
මම ගප්පියෝ බේරා ගන්න - ප්ලෑනක් ගැහුවා....

තනියම කරනවාට වඩා - තව අයගෙන් අහල බලල 
හොඳම වැඩේ කරන්න මම - තීරණය කරා...

කොකා ඇවිත් මාළු ගිලී - ආහාර දාමය එහෙමයි 
ඒක බිඳින එක හොඳ මදි - තාත්තා කිව්වා..... 

සංසාරේ හැටි එහෙමයි - ප්‍රබලය දුබලයාව ගිලියි 
මොනවා කරන්නද කියලා - අම්මා කිව්වා....

බොට විභාගේ නේද යකෝ- ඕව හිතන්නේ මොකට ද 
පාඩම් කරපිය කියලා - අයියා කිව්වා.....

අපි කොකාට ගල් ගහලා - මරල ඌව මස් කරලා 
හවසට අඩියක් ගහමුද - යාළුවො ඇහුවා.....

හිතා ගන්න නම් බෑ මට - මොකක් කරන්නද කියලා 
මම දුවගොස් පොකුණ ළඟට - කොකා එලෙව්වා.........