Friday, November 28, 2014

අසනු මැන හන්තාන ....

වෙලාව උදේ 3.55 ..
ලබන අඟහරුවාදා final exam..
ඔලුවට දරාගන්න බැරි වැඩ කන්දක් ගොඩගහනකොට එක පාරට හිස් හැඟීමක් ආවේ..
ම්ම්ම්ම්.. කියාගන්න බැරි එකක්ද කොහෙද..
හන්තාන මොන තරම් රහස් දන්නවද..
මොන තරම් රහස් රකිනවද...
එකදිගට වහින මේ වැස්සට ඒ රහස් , මහවැලියට යනවා ඇති..



ඔව්..

මේ මම හන්තානේ ඉඳගෙන ලියන අන්තිම කවිය...
හන්තානෙන් මට ඉල්ලන්න තියෙන්නේ මෙච්චරයි..


යන්න යමි නුඹව හැර බැඳීමක් නැති බැවින්
එළඹෙනා වසත් කල මම නැතුව ගත කරන්
හමනවිට මුදු සුළඟ පාළුවෙන් නොමහඬන්
වෙනත් අය හමු වේවි උන්ට මල් පිපීයන් ...

(ය,ව,හ,න් දෝෂය තියෙනවා. මට මොකද.. ඒක තිබ්බ කියල වෙනවා අවුල මම දන්නේ නැති නිසා මම ඒ ගැන හිතන්නේ නෑ )





Friday, November 14, 2014

...දුකක් නැහැ ඉතින් මට පල්ලමේ මම හිටිය....



කාලයක මල් පිපුනා
කාලෙකදී කොළ හැලුනා
අකුණු සැර, වැහි බින්දු
වෙලාවක ඇද වැටුනා ..

සමහරක් වෙලාවට
මිහිරි ගී පද ඇහුනා
ඒ මුවින් ඇතැම්විට
රුදුරු ගිනිදැල් මැවුනා

ඒ වුනත් කාලයක්
උඹ මගේ ළඟ හිටියා
මම උඹේ ළඟ හිටියා...

උඹ අඬපු වෙලාවට
උඹ එක්ක මම ඇඬුවා
හිනා වෙන වෙලාවට
හිතින් මම රස වින්දා  ..

හිටි වනම දුර ඈත
උඹ තනිව පිය මැන්නා
අළු පාට හෙවනැල්ල
උඹේ පාලුව මැකුවා ..

මට වඩා හෙවනැල්ල
උඹට ලං වී තිබුණ..
ගොඩනගපු අතීතයෙ
පාදමම ඉරි තැලුවා...

මෙපමණක් කාලයක්
කඳු දැක්කා, කඳු නැග්ගා
අන්තිමම මොහොතෙ උඹ
කන්ද තනියම නැග්ග...

දුකක් නැහැ ඉතින් මට
පල්ලමේ මම හිටිය....