Saturday, February 17, 2018

~සෙල්විගේ චිත්‍රය ~

තද දුඹුරු පාටකින් 
මැටි පසක් අඳිනවා..
ඒ පසේ බුරුල් වුන
තැන් ටිකක් තියනවා..

තේ පඳුරෙ මුල් ගොඩක්
ඒ අතරෙ අඳිනවා..
සීයාව මුල් වගේ 
ගැඹුරටම යවනවා..

තැනින් තැන උඩට ආ
මුල් ටිකක් තියනවා..
සීයාගෙ අසනීපෙ
මුල්වලත් අඳිනවා..

රට ගිහිපු අම්මාව
තේ ගහක් කරනවා..
මතක නැති නිසා රුව
අඳුරු කර අඳිනවා..

වේලිලා ගිහිපු අතු
ටිකක් හයි කරනවා
අම්මාගෙ කතාවම
ඒවයින් කියනවා..

ලා ම කොල පාටකින්
තේ දලුත් අඳිනවා..
ගහ මුදුනෙ තියන් නෑ
හංගලා තියනවා..

පුංචි නංගී තමයි
හැංගුවේ හිතනවා..
නෙලන්නට බැරි වෙන්න
ඉත්තකින් වහනවා !!

අක්කාව තේ මලක්
විදියටම අඳිනවා
පිපී පරවුණ බවක්
දන්නෙ නෑ කියනවා..

මහත්තය ඇවිද ගිය
අඩි පාර අඳිනවා..
තැලුනු පොඩිවුනු පඳුරු
ඒ දෙපස අඳිනවා..

කොළඹ ගිය තාත්තා
නොඇඳ මම ඉන්නවා...
කන්දෙ ඉඩ ඇති තැනක
කලු ගලක් අඳිනවා..

ඉස්කෝලෙ අඳින්නට
තැනක් මම හොයනවා..
ගහ වටේ සුදු පාට
පොහොර කැට අඳිනවා

ඒ තමයි ඉස්කෝලෙ
කියල මම කියනවා
ටීචර්ව ඒ ළඟම
දොලපාර කරනවා...

චිත්‍රයේ ඉතිරි ටික
හිස් ලෙසම තියනවා
ඒ ඉන්නෙ මම තමයි

ටීචර්ට කියනවා!!

5 comments: