Saturday, August 20, 2016

පරිවාසය

මා සිටියේ දරුවකුගේ දතක් පුරවමින්ය..
ඒ අතරතුර, මගේ සහයක වූ සමන් සහ ඊළඟට ප්රතිකාර ගැනීමට සිටි දරුවා අතර ඇතිවූ කතාබහ මෙසේය..

පුතා ළඟදි මෙහෙට ආවෙ නැද්ද මහියංගනේ පැත්තෙ ළමයෙක්?

මම ආවෙ එහේ ඉඳන් තමයි සර්..

අර එතකොට මේ ඩෙන්ටල් බස් එක ආපු දවසෙ ඉස්කෝලේ හොරකමක් කරලා අහු වෙලා හිටියෙ ඔයාද?

ඔව් සර්..

මෙහෙ ආවට පස්සෙ ගෙදර එහෙම ගියෙ නැද්ද ?
ආ....එහෙම යන්න දෙන්නෙ නෑනේ ඉතින්...

නෑ සර්.. ඒවුනාට දැන් දවස් තුනකට කලින් මම ගෙදර ගිහින් ආවේ..

ඒ මොකද??

අපේ අම්මා නැතිවුනා සර්..

මම කරමින් සිටි ප්රතිකාරය මඳකට නවතා ඔහු දෙස බැළුවෙමි..
ඒ මුහුනේ කිසිදු හැඟීමක් නැත..

ඒ මොනවා වෙලාද?

අපේ අම්මට ලෙඩක් හැදෙනව සර්.. ඒ ලෙඩේ හැදුනම එයාට මම එයාගෙ ළඟම ඉන්න ඕන.. මේ පාර ඒ ලෙඩේ හැදුනම මම ළඟ හිටියේ නෑනෙ..
එයා මාව හොයල හොයලා බැරි වුනාම ළිඳට පැනලා මැරිලා...

තවත් කතා නොකරන ලෙස මම සමන්ට සංඥා කළෙමි..
දරුවා කියුවේ ඇත්තක්දැයි නොදන්නා නමුත් ඒ කතාව ඇසූවිට මට තේරුණේ තමා මේ පරිවාසයට එවූයේ නැත්නම් අම්මා තවමත් ජීවත් වනු ඇති බව දරුවා විශ්වාස කරන බවය..
ඒ දරුවා සමාජයට වෛර කරමින් හැදීවැඩීමට ඒ හේතුවම ප්රමාණවත් නොවේද?



සොරකම් වලට හසු වූ දරුවන්,
අතවරයන් සඳහා සම්බන්ධ වූ දරුවන්,
පාසල් නොයා කට්ටි පනිමින් සිටි දරුවන්
මත් කුඩු ජාවාරම් හා සම්බන්ධ දරුවන්
දෙමව්පිය රැකවරණය ප්රමාණවත් නොවූ දරුවන්,

ආදී සියළු ක්රියාවන්ට සම්බන්ධ වූ දරුවන් පරිවාසයේ එකට හැදී වැඩෙති.. එසේ හැදී වැඩීම කිසිම අයුරකින් ඔවුන්ගේ විනය හෝ මානසික සංවර්ධනය සඳහා පිටිවහලක් නොවන බව කිව යුතු නොවේ..

ඇතැමුන්ට උසාවි නියෝග ලැබෙන තෙක් අධ්යාපන කටයුතු ඇනහිට ඇත..
තව සමහරු වුර්තිය පුහුණුවන්හි යෙදෙති..
ගැහැණු දරුවන් ඇඟළුම් කම්හල් සඳහා පුහුණු කරවති..

ඔවුන් කුඩා කල නොතේරුම් කමට කරන වරදක් මඟින් (වැඩිහිටියන්ගේ වැරදි නිසා) ඔවුන්ගේ අනාගතය තීරණය කිරීම සාධාරණද?

හොඳ නරක නොතේරෙන දරුවන් යහ මඟට ගැනීමට මීට වඩා සුදුසු ක්රමයක් තිබිය යුතුය..





Monday, July 4, 2016

මනෝ උපදේශිකාවකගේ දුවකට පෙම් කළෙමි

ඇය ඇත්තටම හුරුබුහුටිය... මා මුලින්ම ඇයව දැක්කේ නැටුම් අංගයකට පුහුණුවීම සඳහා ඇය අප පාසලට ආ දිනකදීය...(2003)

මේක හරි යන වැඩක් නෙවේ මචන්.. ඒ ළමයා අපට වඩා අවුරුදු දෙකක් බාලයි...
ඉතින් මට ක්ලාස් එකකදීවත් කතා කරන්න සෙට් වෙන්නෙ නෑ..
අනිත් එක එයාගෙ ගෙදරත් තියෙන්නෙ ඉස්කෝලෙ ළඟමයි.. බස් එකේදිවත් හම්බෙන්න තිබ්බ නැත්තන්...

උදේ සිට ලැබුනු පාප මිතුරන්ගේ ලව් උපදෙස් වලින් හෙම්බත්ව සිටි මා එලෙස පැවසුවේ ඇත්තෙන්ම සියල්ල එපා වීය.. ඒත් යහළුවන් පසුබසින පාටක් නැත..

ඉතින් යකෝ ඉස්කෝලෙ ඇරෙන වෙලාවට යමන්.. ගෙදරට යනකන්වත් කතා කරන්න අල්ලගන්න පුළුවන් නෙ...

ඒ දසුන්ය...  සෙට් එකටම ලව් සම්බන්ධයෙන් සියළුම ටෝක්ස් කියා දෙන්නේ පොරය.. කෙල්ලන් හතරපස් දෙනෙක් නඩත්තු කරනවාක් මෙන් හැසිරැනත්, ඌට සිටි කෙල්ලෙක් නැත.. මිශ්ර පාසලක සිට අපේ පාසලට පැමිණි නිසාත්, බස් වලදී කෙල්ලන් සමඟ කතා කරන බවට අපට බුද්ධි අන්ශ තොරතුරු ලැබී තිබුනු නිසාත් අපට වඩා පොර කෙල්ලන් ගැන දන්නවායැයි අප තරයේ විශ්වාස කෙරුවෙමු...

පිස්සුද බන්... ඒව කරන්න ලැජ්ජයි... අඳුරන කවුරුහරි දැක්කොත්??
අනිත් එක ගෙදර යන්න පරක්කු වුනොත් ගෙදර අය බලයි පරක්කු මොකද කියලා...

ඒවනවිට අපි නවය වසරේය...

මම කියන්නද වැඩක්? අපි යමන් මනෝ ඇන්ටි හම්බෙන්න?? කෙල්ලව යාළු කරගන්න කලින් අම්මව යාළු කර ගනිමු..

කෙල්ලගේ මව අපේ පාසලේ සිටි මනෝ විද්යා උපදේශිකාවය..
තිළිනගේ ඒ අදහස මුළු සෙට් එකම ඒකමතිකව අනුමත කළ නමුත් මට නම් හරි ගියේ නැත..

ඉතින් බන් එයාව හම්බෙන්න ගිහින් මොනවද කියන්නෙ?? මනෝ ඇන්ටි කැමති වෙයිද බන් මනස අප්සට් එකෙක් දූගෙ පස්සෙන් එනවට??

ඔව් හැබැයි.. අපි එහෙනම් දෙන්නෙක යමු... උඹ කියපන් උඹ ආවේ යාළුවා එක්ක කියලා...

යෝජනාව අනුමත විය.. මගේ සහචරයා ලෙස ඒ යෝජනාව ඉදිරිපත් කළ තිළිණවම තෝරා ගන්නා ලදී..
මාගේ සේරම කුප්ප ක්රියාවල ප්රතිඵ සෑමවිටම වාගේ භුක්ති වින්දේ පොරය...

දවස උදා විය....

මොකද්ද බන් මම දැන් ගිහින් මනෝ ඇන්ටිට කියන්නේ??

කියපන් උඹට පාඩම් කරන්න හිත හදාගන්න බෑ කියලා...

ඒ මොකද කියලා ඇහුවොත්???

කියපන් උඹේ තාත්ත හැමදාම බීලා ඇවිත් ගෙදර අයට කරදර කරනවා කියලා...
මට ඒවෙලාවේ හිතට ආපු සාර්ථකමයැයි සිතුන බොරුව එයය..

පිස්සුද යකෝ... අපේ තාත්තා බොන්නෙ නෑ.. අනිත් එක අපේ පච වලට එයාලව ගාවගන්න ඕන නෑ...

ඒකත් ඇත්ත ... අපි එහෙනම් කියමු උඹේ අයිය බීල ඇවිත් ගෙදර අයට කරදර කරනව කියලා... උඹට අයියෙක් නෑනේ.. ඒ නිසා ශේප්නේ??

අඩෝ... අන්න ඒක එල.. නංගිටත් ගහනව කියමු... ඒක මරු...

අපේ වාරය පැමිණිවිට දෙදෙනාම කාමරයට ඇතුළු වුනෙමු...
මනෝ ඇන්ටිට වඩා දුව රූමත්ය.. ඇයට ඒ රුව ලැබෙන්නට ඇත්තේ ඇයගේ පිය පාර්ශවයෙන් විය යුතුය...

ඇයි පුතාලා...
ඇගේ ප්රශ්නයෙන් මම පියවි ලොවට අවතීර්ණ වුනෙමි.. දොස්තර හමුවේ තමන්ට ඇති රෝගය දෙමව්පියන් විසින් විස්තර කරන තෙක් බලා හිඳින දරුවෙක් මෙන් තිළින මා දෙස බලා සිටී....

මිස් මේ මගේ යාළුව පාඩම් කරන්නේ නෑ ගෙදර ප්රශ්න කියලා....

එතකොට පුතා ආවේ......... යාළුවා නිසාද???

ඔව් මිස්...

ආ එහෙනම් ඔයා පොඩ්ඩක් එලියට වෙලා ඉන්නකො...

අපි දෙදෙනාටම තරු විසිවුණි... තිළිණයා දහඩිය පෙරාගෙන ගලේ රුන්න බළලෙක් සේ මා දෙස බලා සිටි හැටි තවමත් මට මතකය...

විනාඩි 30ක පමණ උපදේශන සේවාවක් ලබාගෙන පොර එලියට ආවේ මනෝ ඇන්ටි විසින් මීළඟ දින කරගෙන ඒමට නියම කරන ලද පැවරුම් කොල මිටියක්ද සමඟය.. එක දිගට බොරු කීම නිසාදෝ ඔහුගේ කමිසය දහඩියෙන් පෙඟී ඇඟට ඇලී තිබුනි...

ඒ කිසිම අර්ථයක් නැති ප්ලෑන එතනින්ම අල විය...
නැවත උපදේශන සේවා ඒකකය පැත්ත පළාතේ නොයෑමට අප වග බලාගතිමු...
නැවත කිසිදාක මුණනොගැසුන බැවින් ඒ ප්රේමය ඉපදී ටික කාලයකින්ම මිය ගියේය....

නමුත් ඒ අතීතය සුන්දරය...

Friday, July 1, 2016

කැන්ටිම (ගිරාඳුරුකෝට්ට කතා 02)

ඒ කැන්ටිමේ ඇත්තේ මුන් ඇට, උළුඳු වඩේ, පෑන් කේක් සහ ප්ලේන් ටී පමණි.. හකුරු කැබැල්ලක් සමඟ කහට කෝප්පයක් බොන ගමන්ම මම නැවත ඇය හා කතාව පටන් ගත්තෙමි...

ඉතින් අම්මා, මේ ඉස්කොලේ ළමයි ගොඩක් අය කැන්ටිමෙන් කනවද??

එච්චරම නෑ සර්.. ඒත් කන ළමයි හැමෝම රුපියල් 10ක වගේ මොනව හරි කනවා... සමහර අය නම් රුපියල් 20ක වගේ මොනවහරි ගන්නවා...

ම්ම්... එතකොට කෑම ගන්න සල්ලි නැති ළමයි එහෙමත් ඉන්නවද??

අපෝ ඔව්... හැබැයි  ගොඩක් පොඩි අය තමයි එහෙම ඉල්ලන්නෙ ...
එයාල ඇතුලට එන්නෙ නෑ..
මෙන්න මේ දැලේ එල්ලිලා නැන්දා, නැන්දා ගානවා...

හැමදාම දෙන්නත් බැහැනෙ.. මම සමහර දවස්වලට එකක් දෙකක් එහෙම දෙනවා.. නැතුව බෑ සර්.. නැත්තන් ඒකට පුරුදු වෙනවා....

පව් ඉතින්...

ඇයද මේ කැන්ටිම කරගෙන යාමට දරන වෙහෙස ඈ දෙස බැළුවිට වටහා ගැනීමට අපහසු නැත...

සර්ට කියන්න , එක දවසක් එහෙම නිකන් කෑම ඉල්ලන ළමයෙක් ඇතුලට ආවා...
ඇවිත් එදා මම ගෙනත් තිබුන කෑම ජාති තුන දිහා බලාගෙනම  හිටියා...

ඊට පස්සෙ මට කියනවා , අනේ  නැන්දා මම මේ ජාති තුන කාලම නෑ කියලා...

මොනවද එදා අම්ම ගෙනත් තිබ්බෙ??

මට මතක හැටියට වඩේ, උළුඳු වඩේ, පෑන් කේක්..

ඉතින්??

මම කිව්වා මට ජාති තුනම දෙන්න බෑ... අද දෙකක් දෙන්නම් අනිත් එක හෙට දෙන්නම් , හැබැයි ආයෙ නම් නිකන් දෙන්න බෑ කියලා...

මේ ළමය ඒ ජාති තුන කෑවට පස්සේ ආයෙ කෑම ඉල්ලන් ආවෙ නෑ සර්...
මට දුක හිතුනා....

උගුර පිච්චුනේ කහට උගුරටද, ඇගේ කතාව නිසාද නොසිතූ මම මුදල් ගෙවා කැන්ටිමෙන් පිටවුනෙමි...

බලාපොරොත්තුව - (ගිරාඳුරුකෝට්ට කතා 01)

*****10 වසරේ දරුවෙක් සහ මම*****

මාමා, ඔය දත්  බලන කන්නාඩිය උත්තල එකක්ද මාමා??

ඇයි පුතා, ඔයාලට විද්යාවට කොහොමද කියල දීල තියෙන්නේ??

විද්යාව ඉගෙන ගන්න ටීච කෙනෙක් ඉන්න එපැයි මාමා..

මොකක්?? විද්යාව උගන්නන ටීච කෙනෙක් නෑ????

ඉන්නවා... ඒ සර් ඉස්කෝල දෙකක උගන්නනවා..
අපට සතියට දවස් දෙකක් ඇවිත් පීරියඩ් 6ක් කරනවා..

හ්ම්......

****** ඒ පාසලේම 8 වසරේ දරුවෙක් සහ මම ******

ඉතින් බබා ඔයා ලොකු වෙලා වෙන්න කැමති කවුද??

Doctor කෙනෙක්....

ෂා..... ගොඩක් හොඳයිනේ... හොඳට මහන්සි වෙලා වැඩ කරන්න ඕන හොඳද??

හා......



හිතින් ඔවුන්ට සුභ පතා ආවෙමි..
ඒ දරුවන්ට ඒ හීන දුර ය...
ඇත්තටම,
නිදහස් අධ්යාපනය - අපට තවමත් දුරය...😢😢

Saturday, June 18, 2016

.....ගිලන් රථය සහ කොබෙයි ප්‍රේමය...



බිජුලන දින අදයි තිර වී තිබුනි ඇගේ
ආවේ කෑම සොයාගෙනයි පාර දිගේ..
එනමුදු දෙවිඳු උදුරාලා සතුට මගේ
මඟමරු වෙලා බිලිගත්තා බිරිඳ මගේ..

"තඩ්" හඬ නඟා ගැටුනා ඇය ඒ රියට
විසිවී ගිහින් වැටුනා පාරෙන් එපිට...
හිතා ගන්න බැරිවුනි සිද්දිය මෙමට
පියෑඹුනෙමි ඉබේම මා ඈ වෙතට..

විඳි වේදනාවන් පිලිබිඹු වන මුව ය
ලේ නැහැ බිඳුවකුත් දේහය නිසසලය..
හුස්මන් නොවැටෙනා පිහාටු පිරි ලැම ය
වෙන්දා මෙන්ම තවමත් ඇය ලස්සන ය...

සතුටෙන් ඉමුය පැටවුන් තිදෙනෙක් හදලා
ඊයේ රෑත් කිව්වා මට තුරුලු වෙලා..
කොහොමද සිටින්නේ මා මතු තනි වීලා
දෙවියනි මරනු මැන  මාවත් ලය පලලා..

ඇදිලා එතිය කුහුඹුන් දැන් නුඹේ වෙත
හපනව දැනෙයි උන් පණ ඇති මගෙත් ගත..
තබා ගෙනම මා හිස නුඹෙ පපුව මත
මිය යමි කුහුඹුනේ එනු මැන මගේ වෙත....

-ගිලන් රථ රියදුරාගේ සිතිවිලි -

රැකියාවට බැඳී අවුරුදු තිස් පහකි
අනතුරු අදට සිදුවී ඇත්තේ පහකි..
බල්ලන් තුනකි පූසෙකි එක කුරුල්ලෙකි
අද වුනු අනතුරට හිත වාවනු නොහැකි....

ඉක්මන් නොකල නම් මා අද ගියා වගේ
බේරා ගන්න බැරි වනු ඇත දරුව ඇගේ..
රැකගත් නමුත් දරුවත් ප්‍රාණයත් ඇගේ
බැරි වුනි දිවිය බේරන්නට කොබෙයියගේ..

අද රෑ කොබෙයියෙක් තනිවම හිඳිනු ඇත
කඳුලින් කැදැල්ලම ඔවුන්ගෙ පෙඟෙනු ඇත..
කාගේ නමුත් පණ නම් මට අගේ ඇත
පිනක් කල නමුත් - අද "හිස්" මගේ හිත....

Tuesday, March 1, 2016

අම්මාට ලියුමක්..

තව ටික දොහයි මාසේ අන්තිම වෙන්න..
මගේ රත්තරන් අම්මේ
මම පඩි අරන් අද හෙට එනතුරු ගමට...
තිස් තුන් කෝටියක් දෙවි පිහිටයි නුඹට





මේ පැත්ත හරිම පුදුමයි..‍යහපත්, මිනිස්සු යටපත් කරගෙන අයහපත් මිනිස්සු නැගිටිනවා අම්මේ..ඒත් ඒ අය අතරේ මම හෙමින් හෙමින් මගේ ජීවිතය ලස්සනට ගොඩනගනවා..
මම දුකෙන් ඉන්නවා කියලා හිතන්න එපා.. මම ගොඩක් සතුටෙන්..බොරු නෙවේ.. අම්මව මම දවසක මෙහෙ එක්කගෙන ඇවිත්ම පෙන්නන්නම්.. අම්මටත් ගොඩාක් ආස හිතේවි..

මේ දවස්වල වැඩ ටිකක් වැඩියි තමයි.. ඒත් මම මේ පාර ගෙදර ආවම කෙට්ටුවෙලා වගේ, ඇදීල ගිහිල්ල කියල එහෙම දුක් වෙන්න එපා අම්මේ.. මේ දවස් ටිකේ විතරයි ඉතින් මෙහෙම...

මට මෙහෙට හේවිසි හඬක් නම් ඇහෙන්න නැහැ අම්මෙ... ඒත් පල්ලියේ යාතිකා, කෝවිලේ ගීතිකා ඇහෙනකොට මට ගමේ පන්සල මතක් වෙනවා.. සුදු සිල් රෙද්ද ඇඳන් පිච්ච මල් සුවඳක් ඇඟේ තවරන් පෝය දවසට අම්ම ඉන්න හැටි එතකොට මට මතක් වෙනවා.. කොච්චර වැඩ කරලා ආවත්.. මගේ මහන්සිය ආගිය අතක් නැති වෙනවා අම්මේ එතකොට...

අපි ඉස්කොලේ යන කාලෙ වගේ උදේ පාන්දර ඇහරගෙන දුක් විඳින්න ඕන නෑ අම්මේ දැන්.. අම්මට දැන් වයසයි නෙ.. ලෙඩ වෙන්න පුලුවන්..
අම්ම දැන් විවේක ගන්න ඕන කාලෙ. අම්ම ඒ කාලෙ මාව බලාගත්ත වගේ මටත් පුලුවන් දැන් අම්මව බලාගන්න..
පුළුවන් නම් මම ඉක්මනට ගෙදර එනකන් හැමදාමත් මට හීනෙන් පෙනි පෙනි මම එනකන් වෙනද වගේම බලන් ඉන්න....

 තුන් සරණයි...

 ලියුම ගොඩනැගුන අදහස

 https://youtu.be/OV6NgsichG8