Monday, July 3, 2017

(නූ)පන් දියණිය

මවා සහසක් හීන පොදියක්
පැතූ පැතුමක් ඉටුවුණී..
කියා, සතුටක් හිතේ නැඟුණත් ,
බිඳී වැටුණා සැනෙකිනී
හැඬූ කඳුළක් නෙතේ නැතුවත්
සිඳී තොළකට වියලුණී..
හදේ ගැඹුරුම තැනත් පුපුරා
පණ පිටින් මම මියැදුනී...

පොකුටු කොණ්ඩය හරිම සිනිඳුයි
සේද හුයකින් ගෙතු වැනියි..
රන් පැහැති සම දිලෙන අයුරට
සුරඟනාවොත් පරදවයි..
නිසල වතෙහී තවම ජීවය
තිබෙන  බව මගෙ හිත කියයි....
බිඳක් හෝ නුඹ හෙලවෙනාතුරු
බලං ඉන්නේ ඒකමයි..

භව ගමනෙ අද වැරදි තැනටද
සැරිසරා නුඹ පැමිණියේ ??
අපෙන් වරදක් වුණාදෝ ඇයි ,
ආපු හැටියෙම හැර ගියේ ??
මගේ පණපොද අරන්වත් යලි
මෙහි වඩින් දූ කුමරියේ..
තාත්තා මම ආදරෙයි මගෙ පණට
වැඩියෙන් දෝණියේ..

නිමිත්ත :
ඉපදුණ මොහොතේම සිය දියණිය මියගොස් සිටි අයුරු දුටු පියෙකුට දැණුනා යැයි පැවසූ හැඟීම් ඇසුරෙන් සකස් කරන ලද්දකි ....










Friday, March 3, 2017

නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනයේ නිදහස...

කොහොමද ටීච ගිය පාර මේ ඉස්කෝලෙ රිසල්ස්?

ළමයි 13ක් ලකුණු 80ට වඩා ගත්ත සර්. එක්කෙනෙක් ලකුණු 150ක් ගත්තා

මරුනෙ.. පාස් වෙන ළමයි එතකොට කොහෙටද යන්නෙ?

ටික දෙනෙක් බටවත්ත ඉස්කෝලෙට යනවා අනිත් අය පස්සරට යනවා..

පස්සරට යන්න මෙහෙන් උදේම බස් තියෙද ඉතින්?

උදේ 6.30ට එකක් තියෙනවා.. ඒක පස්සරට යනකොට 8.30 විතර වෙනව හැබැයි.

ඉතින් එතකොට ඉස්කෝලෙ පටන් අරන් නෙ?

ඔව්. ඒවුනාට උදේම බස් එක තියෙන්නෙ ඒ වෙලාවටනෙ. ඉස්කෝලෙන් මොනවත් කියන්නෙ නෑ..

හ්ම්ම්.. සාමාන්‍යයෙන් බලද්දි මේ ඉස්කෝලෙ ළමයින්ගෙ රිසල්ස් හොඳයි නේද?

ඔව් සර්. අපි හැමදාම උදේ 6.30ට පටන් ගන්නවා වැඩ. ඉස්කෝලෙ ඇරිලා හවස 4.30 වෙනකන්ම ක්ලාස් කරනවා..
සමහර දවස්වලට ඊට වඩා හවස් වෙනවා.

එතකොට හවසට බස් තියෙනවද?

නෑ. ගොඩක් වෙලාවට ක්ලාස් ඇරිලා මේ ළමයි පයින් තමයි යන්නෙ. බටවත්තට ගිහින් යන්න පුලුවන්.

කොච්චර දුරද එහෙට??

මෙතන ඉඳන් කිලෝ මීටර් 7ක් වගේ ඇති..

ඒ කියන්නෙ මේ ළමයි ඉස්කෝලෙ ඇරිලා 7km පයින් යනවද??

ඔව් සර්. පොඩි උන්ට ගානක් නෑ. දුව දුව යනවා..

එතකොට ටීචලා??

ටීචර්ලාත් එක්කො බටවත්තට පයින් යනවා.. ඒ නැත්තන් ඔය එන මොකක් හරි වාහනේක එල්ලිලා යනවා..

ටීචලට හරි නම් මල් තියලා වඳින්න ඕන..

හ්ම්ම්.. මොනව වුනත් මේ වත්ත එන්න එන්න හොඳ පැත්තට  වෙනස් වෙනවා. ළමයි ඉගෙන ගන්න නිසා වෙන්නත් පුලුවන්. දැනට මේ වත්තෙන් ටීචර්ස්ලා 10ක් විතර බිහිවෙලා තියෙනවා..
ඒත් එයාලා මේකෙ රැඳෙන්න කැමති නැහැ. එහෙම වුනා නම් මීට වඩා හොඳට මේ ඉස්කෝලෙ හදලා ගන්න තිබ්බා..

මේ රුපියල් 38000ක වැටුපක් ගන්නා ගුරුවරියකගේ කතාවක්‍ ය.

නිදහස් අධ්‍යාපනය හෝ අධ්‍යාපනයේ නිදහස පිළිබඳ fb සංවාද හැරෙන්නට තමන්ට කල හැකිදේ කිරීමට සිතා බලන්න මේ ඔබේ වාරයයි. 😊😊😊