Saturday, October 31, 2015

ගහපන් ඔය කාලකන්නින්ට - වෙනස දැන් සනීපයි ද ??







කොහොමද මුදලාලි ?

හොඳින් ඉන්නවා මහත්තයා .. කොහොමද ඉතින් ?

මට නම් කිසිම හොඳක් නෑ මුදලාලි.. පොඩි දූගේ ප්‍රතිපල ආවා නේ..
මේ සැරෙත් නූලෙන් විශ්ව විද්‍යාලේ මිස් වෙනවා ..
උසස් පෙළ කරන ළමයින්ගෙන් කොච්චර පොඩ්ඩයිද මේ රජයේ කැම්පස් වලට ගන්නේ?
මොනවා කරන්නද ඉතින්.. ප්‍රයිවට් කැම්පස් එකකටවත් දානවා..

ඒකත් එහෙමද..
ඇත්තට ඇයි මහත්තය රජයේ විශ්ව විද්‍යාලවලට මීට වඩා ළමයින්ව ගන්න බැරි ?

කවුද දන්නේ මුදලාලි..
කවුද ඉතින් ඕවට කතා කරන්න යන්නේ ??
කවුද ඕව ගැන හොයන්න යන්නේ ??

අපටත් ඔන්න ඔහේ වෙන දෙයක් බලන් ඉන්න නේ වෙලා තියෙන්නේ ..

...................................................................................................................................................................

කට් ඕෆ් බැලුවද බං ?

ඔව් මචන්.. මට මෙඩිසින් අහු වෙන්නේ නෑ බං.. එපා වෙලා ඉන්නේ ..

ඕව ඔහොම තමයි මචන්.. ආයි විභාගේ කරනවද ඉතින් ?

තාම හිතුවේ නෑ බං.. බලපන්. මේක හෙනම අසාධාරණයි බං.. මෙච්චර රිසල්ට් එකක් දාලත් යන්න බැරි හැටි..
කරුමේ තමයි බං.. ප්‍රයිවට් කරන්න සල්ලි තිබ්බ නම් මෙච්චර දිදී ඉන්නේ නෑ බං රෙද්ද..

එහෙම තමයි බං.. හැබැයි බං පහසුකම් වැඩි කරලා ගන්නවා නම් අපේ කැම්පස් වලට ගන්න ප්‍රමාණය තව වැඩි කරන්න පුළුවන් කියල අයිය කෙනෙක් දවසක් මාත් එක්ක කිව්වා බං..

වෙන්න ඇති බං..
ඒත් කවුද ඕව ගැන කතා කරන්න යන්නේ ??
කවුද ඕව ගැන හොයන්න යන්නේ ??

...................................................................................................................................................................


මචන් ... 12 ට ගලහ හන්දියේ පිකට් එකක් .. අනිත් උන්ටත් මෙසේජ් එක දීපන්

මොකද්ද කේස් එක මචන් ??

අධ්‍යාපනය පෞද්ගලීකරණයට විරුද්ධවයි , විශ්ව විද්‍යාල පහසුකම්  වැඩි කරන්න කියලයි...
උසස් අධ්‍යාපන ඇමතිය මේ පාර සාකච්ඡාවත් අල කරලා..

ඒකත් එහෙමද..

කකා ඉන්න වෙලාවක් තියෙන එකක් නෑ බං..
අපේ අනිත් උන් අඬගහන් 12 වෙද්දී ගලහ හන්දියට වරෙන්..
හරි මචං...

...................................................................................................................................................................

මොකෝ මෙච්චර මේ ට්‍රැෆික් එක ?

මේ අර කැම්පස් හු***ගේ පුතාල පාරේ පිකට් එකක් බං..
අනේ ඇත්තට මුන්ට නෙලන්න ඕන හොඳ එකෙන්..

අපේ බදු සල්ලි වලින් ඉගෙන අරන් අපටම කෙලවනවා ..කාලකන්නි හැත්ත..
මුන්ට කාලා බීලා නිකන් ඉන්න බැරි හැටි !!
බලපන් මුන් නිසා අපේ වෙලාව නාස්ති වෙන තරම්...

...................................................................................................................................................................


ප.ලි.
කැම්පස් එවුන් පාරටවිත් ඇතැමුන් කියන අන්දමට මගුල් නටන්නේ බදු සල්ලි වලින් ඉගෙන ගෙන කාල බීල නිකන් ඉන්න බැරුවට නොවේ ය.. මේ වෙනවිටත් උන්ගේ අතේ ඩිග්‍රිය තිබේ.. උන්ටත් පාඩුවේ නිදහස් අධ්‍යාපනයේ අග්‍රඵලය නෙලාගෙන පාඩුවේ පිට වී යා හැකිය.. කිසි ගේමක් නැත.. කාගෙන්වත් කුණු බැනුම් අහන්නවත් ගුටි කන්නවත් උවමනා නැත .. උන්ට මේ සටන් කිරීමෙන් ලැබෙන ලබ්බක් නැත ..

උන් සටන් වදින්නේ අනාගතයේ කැම්පස් එන්න ඉන්න උන් වෙනුවෙන් ය ..
උන් හිතෙන හිතෙන වෙලාවට පාරට බැස පාර අවහිර කරන්න තරම් ගොබ්බයන්වත් එක එක පක්ෂ වලින් ෆෝම් කරන විට ෆෝම් වෙන්න තරම් රූකඩවත් නොවේ ය... උන් පාරට බහින්නේ සාකච්චා පිළියම් අසාර්ථක වූ විට ය..

රජයේ විශ්ව විද්‍යාල වල පහසුකම් වැඩි කිරීම හෝ අධ්‍යාපනය පුද්ගලීකරණය අවම කිරීම ගැන කැම්පස් සිසුන් හෝ ආචාර්ය මණ්ඩලය හැරුනුකොට මේවන විට සංවිධානාත්මකව පෙළ ගැසුණු වෙන කවුරුන් හෝ සිටීද ??
උනුත් නිහඬ වුනොත් මේ දේවල් ගැන  කතා කරන්න ඉන්නේ කවුද ??

උන්ට ඇඟිල්ල දික් කරන්න කලින් , බදු ගෙවීම හැරුනුකොට වලපල්ලට යමින් තිබෙන නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් තමන් කරපු දෙය හෝ  කරන්න හිතන දෙය ගැන මොහොතක් සිතා බලන්න..