Friday, November 28, 2014

අසනු මැන හන්තාන ....

වෙලාව උදේ 3.55 ..
ලබන අඟහරුවාදා final exam..
ඔලුවට දරාගන්න බැරි වැඩ කන්දක් ගොඩගහනකොට එක පාරට හිස් හැඟීමක් ආවේ..
ම්ම්ම්ම්.. කියාගන්න බැරි එකක්ද කොහෙද..
හන්තාන මොන තරම් රහස් දන්නවද..
මොන තරම් රහස් රකිනවද...
එකදිගට වහින මේ වැස්සට ඒ රහස් , මහවැලියට යනවා ඇති..



ඔව්..

මේ මම හන්තානේ ඉඳගෙන ලියන අන්තිම කවිය...
හන්තානෙන් මට ඉල්ලන්න තියෙන්නේ මෙච්චරයි..


යන්න යමි නුඹව හැර බැඳීමක් නැති බැවින්
එළඹෙනා වසත් කල මම නැතුව ගත කරන්
හමනවිට මුදු සුළඟ පාළුවෙන් නොමහඬන්
වෙනත් අය හමු වේවි උන්ට මල් පිපීයන් ...

(ය,ව,හ,න් දෝෂය තියෙනවා. මට මොකද.. ඒක තිබ්බ කියල වෙනවා අවුල මම දන්නේ නැති නිසා මම ඒ ගැන හිතන්නේ නෑ )





Friday, November 14, 2014

...දුකක් නැහැ ඉතින් මට පල්ලමේ මම හිටිය....



කාලයක මල් පිපුනා
කාලෙකදී කොළ හැලුනා
අකුණු සැර, වැහි බින්දු
වෙලාවක ඇද වැටුනා ..

සමහරක් වෙලාවට
මිහිරි ගී පද ඇහුනා
ඒ මුවින් ඇතැම්විට
රුදුරු ගිනිදැල් මැවුනා

ඒ වුනත් කාලයක්
උඹ මගේ ළඟ හිටියා
මම උඹේ ළඟ හිටියා...

උඹ අඬපු වෙලාවට
උඹ එක්ක මම ඇඬුවා
හිනා වෙන වෙලාවට
හිතින් මම රස වින්දා  ..

හිටි වනම දුර ඈත
උඹ තනිව පිය මැන්නා
අළු පාට හෙවනැල්ල
උඹේ පාලුව මැකුවා ..

මට වඩා හෙවනැල්ල
උඹට ලං වී තිබුණ..
ගොඩනගපු අතීතයෙ
පාදමම ඉරි තැලුවා...

මෙපමණක් කාලයක්
කඳු දැක්කා, කඳු නැග්ගා
අන්තිමම මොහොතෙ උඹ
කන්ද තනියම නැග්ග...

දුකක් නැහැ ඉතින් මට
පල්ලමේ මම හිටිය....

Monday, September 15, 2014

..පුරුදු උණුහුම ...


මේ කවිය ගැන කියන්න දෙයක් නෑ..
දැනෙන අයට දැනේවි... මට කරන්න පුළුවන් මෙච්චරයි...
(තව හරියටම මාස 3 යි දවස් තුනයි..)

හන්තාන කඳු වැටිය
මම කොහෙද අසාවිද ??
මහවැලිය කොඳුරමින්
පාලු යයි කියාවිද ?
මඟ හැරලා ගියෙ ඇයිද,
යළි යලිත් හිතේවිද ?
නුඹ පුරුදු උණුහුමෙම
තවත් ගුලි ගැහේවිද?

නොලියැවෙන කවි තවත්
සිහිනෙකින් දකීවිද ?
සිහිනයක රැඳුණු තතු
සොඳුරු කවි පද වෙයිද ?
කැමති ඇති උරුම නැති
තවත් අය හමුවෙයිද ?
පුරුදු උණුහුමෙම හිඳ
නැවත මා සොයාවිද ?

වරදක්ද නැද්ද බව
තව තවත් හිතාවිද
වෙනස් වෙනවද නැද්ද
හිතා සිත ලත වෙයිද ?
ඉඳහිට හො මගෙ සිසිල
හදවතට දැනේවිද ??
හුරු පුරුදු උණුහුමෙම 
නුඹ තනිය විඳීවිද ??


Sunday, July 13, 2014

Room No 20

අපේ රූම් එක ඉස්සරහ රූම් එකට අලුතෙන් ආවේ AHS ෆැකල්ටි එකේ මල්ලිලා වගයක්..
උන් තාම 1st year.. ඒ කියන්නේ 12 බැච් එකේ..

සාමාන්‍යයෙන් අපි ඉන්න MARRS හෝල් එකට දාන්නේ අන්තිම අවුරුදු වල ඉන්න එවුන් විතරයි..
ඒත් අපේ කරුමෙට මේ පාර අපේ සබා මේ පොඩි එවුන් රොත්තක් ගෙනල්ල දාල..

මෙතැනදී කරුමේ කියල සඳහන් කරන්න විශේෂ හේතුවක් තියෙනවා..
මේ හොස්ටල් එක හෙනම නිස්කලංක ප්ලේස් එකක්.. අන්තිම අවුරුදු වල එවුන් පිස්සු නටනවා අඩු නිසා ගොඩක් වෙලාවට පාඩම් කරන්න හොඳ තත්ත්වයක තියෙන හොස්ටල් එකක්..

ෆස්ට් ඉයර් එවුන් ආවම ඒ ගතිය නැති වෙනවා..උන්ගේ සද්දේ නිසා.. :D




කොහොම වුනත් අපට මේ ප්‍රශ්නේ දෙගුණ තෙගුණ වෙලා දැනුනා..
ඒකට හේතුව මේ අපේ රූම් එක ඉස්සරහට සෙට් වුන මල්ලිලා මුස්ලිම් අය වුන නිසා..

මෙහෙමයි...
උන් මුස්ලිම් වුන එක නෙවේ අපේ  ප්‍රශ්නේ..
කතා කරන්නේ දෙමළ වුන එකත් නෙවේ...

අපේ ප්‍රශ්නේ වුනේ උන් රූම් එක ඇතුලේ වුනත් අල්ලපු රූම් ගානක් ඈතට සද්දේ ඇහෙනකන් කතා කරපු එක ... (සාමාන්‍යයෙන් දෙමළ අය ගොඩක් සද්දෙට කතා කරනවා නේ )

මුලින් හොඳින් කිව්වා... දෙතුන් පාරක් සද්දේ අඩු කරන්න කියලා...
ඊට පස්සේ දවසක් දෙකක් යනකන් සද්දේ අඩු වෙනවා..
ඊට පස්සේ ආයිත් මුන්ට මතක නෑ...
ඉතින් ඊළඟ වතාවල් වල හොඳට ඇමතුවා... ඒත් ටික දවසකට විතරයි ප්‍රථිපල..

මොනවා වුනත් , අපි බැන්නත් මුන් කොහේදී අපිව දැක්කත් හෙනම අහිංසක විදියට හිනා වෙනවා..
තරහ වුන බවක් පෙනුනේ නම් නෑ...

අපටත් ඉතින් වැඩේ ඇති වුනා.. අනුවර්තනය වෙන්න හිත හදාගෙන ඔහේ හිටියා.. උන් එක්ක කිසිම ගනු දෙනුවක් තියා ගන්නේ නැතිව...
(සාමාන්‍යයෙන් හොස්ටල් වල එක ළඟ රූම් දෙකේ ගොඩක් ලොකු ෆිට් එකක් හැදෙනවා.. ඒත් අපේ එහෙම වුනේ නෑ..)

ඒත් අද......

මමයි රූමයි රූම් එකේ වල් පල් කියව කියව ඉන්නකොට අපේ දොරට එකෙක් තට්ටු කරනවා...

Excuse room no 20...
බයෙන් බයෙන් වගේ තමයි කතා කරේ...

දොර ඇරගෙන වරෙන්... අපි ඇතුලේ ඉඳං කිව්වා..

ආවේ එහා රූම් එකේ මල්ලිලා..
උන් රඹුටන්, වෙරළු පිඟානක් අරන් ඇවිල්ලා...
මදිවට තඩි රට ඉඳි පාර්සලෙකුත් !!

අහිංසක විදියට හිනා වෙලා උන් ඒක දුන්නා...
මේ දවස් වල අපේ ෆාස්ටින් නේ අයියා.. එකෙක් හරි අමාරුවෙන් සිංහල ගැටගහගෙන කිව්වා..

ඉතින් අපට මේවා දෙන්නේ ඇයි??
මට අහන්න හිතුනා... ඇහුවේ නෑ.. මගේ වචන හිර වෙලා..
(ඇයි ඉතින් අපි සතියකට දෙතුන් පාරක් බනින එවුන් අපට කෑම ගෙනත් දුන්නම කොහොමද දැනෙන සනීපෙ ??)

තව මොකද්දෝ රාමදාන් ගැන එකක් කිව්වා.. ඒක තේරුනේ නෑ..
තේරුන් නැත්තේ උන්ගේ සිංහල අවුල් නිසාද මගේ හිත අවුල් නිසාද කියල මම දන්නේ නෑ..

මොනවා වුනත් උන් අහිංසක විදියට හිනා වෙලා ගියා මට මතකයි...

උන් ගියාට පස්සේ මට පට්ට අවුල්..
උන්ගේ ෆෙස්ටිවල් දවසට අපිත් මොනවා හරි දෙන්න මායි රූමයි ඒ වෙලාවෙම තීරණය කරා..


මට මම ගැන ලජ්ජා හිතුනා... මොනවා වුනත් මම කලින් ඉගෙනගෙන තිබ්බ ඒත් කාලෙත් එක්ක අමතක වෙලා ගිය පාඩමක් මට ආයිත් මතක් වුනා...


මේ දවස මට මතක තියෙන්න ඕන නිසා මේක ලියල දැම්මා...







Wednesday, June 11, 2014

අද අමුතු දවසක්


මගෙ ගොඩක් කවි වලට ඉරයි හඳයි තරුයි මලුයි බඹරුයි සමනලුයි ගෑවිලා ඉන්නවා..
ඒකට ගොඩක්ම හේතුව මම හිතන්නේ මේ වචන සෙට් එක ඕන ඕන වෙලාවට ඕන ඕන විදියට වෙනස් කරන්න පුළුවන් නිසා වෙන්න ඕන.. (නැත්තන් මම ලියන ඒවා ප්‍රාථමික කවි නිසා වෙන්නත් පුළුවන්..)

ඉර, හඳ සහ තරු  ........

                                               


සම්මත පෙමක් ගැන කියන්න ඕන නම් මම ඉරෙන් හඳට එළිය දෙන එක හයිලයිට් කරනවා...
ඒක පොඩ්ඩක් රස කරන්න ඕන නම්, හඳට ඉරෙන් එළිය හම්බෙනවා කියන එක හඳ දන්නේ නෑ කියල මම කියනවා..

ඒවගේම කවදාවත් එක් වෙන්න බැරි දෙන්නෙක් හරි නොගැලපෙන දෙන්නෙක් ගැන හරි  කියන්නත් මේ දෙන්නව ගන්න පුළුවන්..
ඉර සැරයි, හඳ අහිංසකයි.. ඒ වගේම ඉරයි හඳයි ගොඩක් දුරින් ඉන්නේ... ලංවෙන්න අමාරුයි..
තව හේතු වෙන අයට හිතෙන්න පුළුවන්...

ඉරයි හඳයි අස්සට ඔය චූටි චූටි තරු කැට දෙක තුනක් එබුවම තව කතාවක් හැදෙනවා..
හැබැයි ඉරෙයි හඳෙයි ආදර කතාවට තරු ආවම ඒක ටිකක් හරි මදි වගේ... ඒවුනාට මරු...

ගහක මල් පිපිලා සින්දුවේ ඉරයි තරුයි අතර සම්බන්ධයක් ගැන කියන නිසාම ඒක gay සින්දුවක් විදියට සමහරු හඳුන්වනවා...( ඒකෙ නිධාන කතාව විදියට මම අහල තියෙන්නෙත් එහෙම සීන් එකක් වුනාට මම නම් ඒක එහෙම හිතන්න කැමතිම නෑ )
ආ.... අමතක වුනානේ ඔය අස්සට හුළගෙ පා කරපු වලාකුලක් එහෙම ඔබල හඳ වහල දැම්මම අමුතුම ගතියක් තියෙනවා..

මීට අමතරව ඉරයි හඳයි අල්ලලා කතා කරන්න පුළුවන් තව කතා තියෙනවා.. ඒ ඔක්කොම කියන්න නෙවේ නේ මම මේක ලියන්නේ...

මල්, බඹරු සහ සමනල්ලු ගැනත් ඔහොම එක එක පැත්තට හරවල කතා හදන්න පුළුවන්.. විශේෂයෙන් ඔය එක මල් ජාති ගැන එහෙම, උන්ගේ ආවේණික ලක්ෂණ එහෙම උලුප්පල මිනිස්සුන්ව පිස්සු වට්ටන පාවිච්චි කරන්න පුළුවන්...
(මේක අනවශ්‍ය විදියට දිග වෙනවට මම කැමති නැති නිසා ඒවා ලියන්නේ නෑ..)

මල් සහ බඹරු ගැන සුරංග ලක්මාල් අයිය ලස්සනට ලියල තිබුන...
මල් ගැන ගැන සුපිරිම කවි පෙළක් මම දන්න නංගි කෙනෙක් ලියල තිබුන...
(එයාගෙන් අහල එයා කැමති වුනොත් ඒකත් කමෙන්ට් එකක් විදියට දාන්නම් )

මේ විකාර කියන්න හිතුනේ අද අමුතු දවසක් නිසා...

හඳයි ඉරයි මෙච්චර දවස් මට පෙන්නුව ආදර කතා වෙනුවට අද වෙන අමුතු කතාවක් මට පෙන්නුවා .. හැබැයි ඒකෙ අවසානේ නං සුන්දර නෑ තමයි...
ඒත් ඔහොම ඒව ඉතින් මේ ලෝකේ කොච්චර වෙනවද..මොනවා වුනත් ඔය යස අගේට ඉර පායන්නේ ඉතින්...නේද ??

මේක ලිව්වේ වෙන මොනවටවත් නෙවේ ...

ඔය ඉරෙයි හඳෙයි ආදර කතාව නිසා මටත් අද තරු කැටයක රස බලන්න ලැබුනා.. (ඉරයි හඳෙයි කතාව බලන ගමන් තරුවක රස විඳින මම මොකෙද්ද කියල අහන්න එපා... මමවත් ඒක දන්නේ නෑ )

ඉතින්...

අමුතු දවස මට මතක තියෙන්න ඕන කියල මම හිතුවා ..
 
සඳුට හිරු රැස්
මදියි වෙන්නැති
සිටියි පෙන්වා 
රළු හිතක්...

එහෙම නැති නම්
දන්නවා ඇති
අවසානයේ වන
බව දුකක්...

දිවා රෑ නිති
සිහින මැව්වත්
ඇය කෙරේ
ඔහු මහ ගොඩක්

ඇයට ඔහු ගැන
සිතක් නම් නැහැ
කිව හැකිද
ඇය හට දොසක් ??


කතාවේ අගක් මුලක් දන්න එකෙක් විදියට මට අන්තිමට මේකත් ලියවුනා  ...

අමුතු දවසක 
මිලින වුනිදෝ  
පිපෙන්නට වෙර
දැරු මලක් ??

හැබැයි මෙහෙම නොවේවා කියන එක තමයි මගෙ ප්‍රාර්ථනාව ...

Friday, May 23, 2014

තනි තරුව... වියරුව....

ඉතාම වෙහෙස වී කට්ට කා, කෙල්ලෙක් සමඟින් යාළු වී, බොහෝ කල් යහතින් හිඳ නමුත් දැන් නිතර නිතර ඈ හා රණ්ඩු වෙන මිතුරෙක් දුටු මට මෙය ලිවීමට සිත් විය...
(තවත් අර්ථයක් මෙහි තිබෙනවා විය හැකිය )



නුඹ හෙව්ව
නුඹ හිතුව
ඇත සඳුව
නුඹ සතුව

ගී ලියුව කවි ලියුව
නුඹ පැතුව ඇගේ රුව
අර බලව තනි තරුව
තියේ තව නොවෙනස්ව  ..






Tuesday, May 20, 2014

මල්....



රෑට පිපෙනා මලක් කඩුපුල්
    හොරෙන් දහවල් සුපිපුනා...
    නොමදැකපු එය සුදු නෙලුම් මල
  මඩේ හිඳිමින් හිනැහුනා
  තවත් මම මෙහි රැඳිල ඉන්නද 
  ඇසූ වනමල වැලපුනා... 
  බිම්මලක් සහ මල් තුනක් රහසේම
      එකවර පරවුනා.... 


Friday, April 25, 2014

෴ බට වැනුම ෴



01.
දුම්කොළ පුරවලා තිබෙනා බටයක්ය
එහි අග තියෙනවා පෙරෙන්න ෆිල්ටරය 
බොන කල කර වෙලා ගිහිල්ල ඉහ මොළය
දෙන්නේ අපට සුර ලොව ඇති ආතල් ය... 

02.
ගෝල් ලිෆ් විසි අටකි ඩන්හිල් තිස් පහකි 
මල්බොරෝ, කඩේ මිලදී ගන්නට නොහැකි
බීඩි වගේ නොව මේ බට උරතහැකි
හැබැයි මලක ඇති සුව නම් නැති සෙයකි....

03.
බ්‍රෑන්ඩ් එක අනුව සැර විවිධත්වෙන් යුතුය
මින්ට් එක තිබුනොතින් දැනෙන්නේ සිහිලසය
කැටයම් දමාලා දෙන මේ දුම්කොළ ය
උරමුකො හැඩට පිටකරලා දුම්ගුලිය... 

04.
අරක්කු බියර් තොල ගානා වෙලාවට
බටයක් හෙමි හෙමින් පපුවට උරනවිට
වෙරි තියෙනවා නේ නොබැසම එක දිගට
එබැවින් බොමුය බටයක් ඒ වෙලාවට

05.
තනිකම සීතල මකන්න දිව ඔසුවක්ය
දුක හිතෙනා විට බොන්නට කදිම දෙයක්ය
එහෙම කියල හේතු හදා ගෙන  බොන්නෙමුය
බොන්නේ නොමැති නම් ආතල් නෑ බොට, සොරි ය

06.
හිතේ තියෙන ප්‍රශ්න ගොඩක් අමතක වෙන්න 
ඇඟට පතට දැනෙන වෙහෙස නිවා දමන්න 
පුරුදු වුනොත් දුම් අරගෙන පපුව නිවන්න 
අවුලක් නෑ  හැකිවනු ඇත සතුටින් ඉන්න  

07.
දුම් ඇද්දම පෙනහළු පිළිකා එනවා  
ඒබව නොදන්නේ නැති මුත් තවබොනවා
බිව්වත් නැතත් මරණය කාටත් එනවා
එබැවින් ඒවා නොහිතාලා අපි බොනවා ....

අවසාන වශයෙන්....

මේ ලෙස ගහන බයිලා පිලි ගන්න එපා
කිසිදා නුඹේ දිවියට දුම ගන්න එපා
උණුහුම සතුට ඝන දුමකින් සොයනු එපා
දැන දැන වලේ වැටිලා දුක් විඳිනු එපා....







Wednesday, April 16, 2014

විකාර (ද?) :p



ලියන්නට අකැමතිම
ඒ වුනත් බලෙන් ලියැවෙන
පද කිසිත් නොගැලපෙන
නොලියැවෙන කවිය නුඹ...

දකින්නට කැමති මුත්
හැමවිටම නොදකින
එහෙත් ඉඳහිට පෙනෙන
අළු පාට සිහිනය නුඹ

නොගැලපෙන කවි ලියා
අළුපාට හීන බලා
ලෝකෙම අමතක කරන
අමුම අමු මෝඩයෙකි මම      :p


Monday, March 17, 2014

නිහඬ...



අහසෙ ඉර ඇති සුළඟ තෙත නැති
ඒත් සීතල
දිනෙක ...

ඇයට ඔහු ඇති මටද ඇය ඇති
සෙනග ගැවසුණු
හවස...

ඇයට තනි නැත මට තනිය ඇත
එකම අතකට
යන්න...

උදේ අරලිය රෑට කඩුපුල්
විඳින්නෙමි මම
සුවඳ...

නෙලන්නට වෙර දරන් නැතිනම්
කියනු මැන මට
වරද...