Friday, December 20, 2013

මදුරු සංදේශය...


වැහි වතුරෙන් මඩ වගුරෙන් ඉපදීලා
ලේ බිඳු බී දමා ටික ටික ලොකු වීලා
සිටිනා නමුත් නුඹ ලොවටම එපා වෙලා
සප් එක නුඹේ අද මට ඇත, ඕන වෙලා...

මාස තුනක් පේරේ නැවතී ඉඳලා
රෑ නිදි මර මරා හොඳටම දුක් විඳලා
බඩගිනි වදින විට බිස්කට් ගිල දමලා
පාඩම් කරපු හැටි කියපං "උන් " හොයාලා

අපෙන් අහන්නට දේවල් වෙන නැද්ද
මේවා සැර වැඩියි කියලා දන් නැද්ද
ඉස්සර ප්‍රශ්න මේවර නෑ , ඒ ඇයිද  ..
මේවා අහලා, පිළිතුරු හොයන් වර හොඳද ??

මගේ පේපරේ බලනා වෙලාවට
කනට උඩින් පියාඹපන් උඹ හොඳට
රූන් රූන් ගාලා හොඳ සද්දේ ට
මූඩ් වෙනස් කරපං මම ගොඩ යන්ට ...




Friday, November 15, 2013

මම දන්නේ කොහොමද ???

සාමාන්‍යයෙන් ආදර කතා වලට තියෙන්න ඕන දෙපැත්තයි..( සම්මතය )
මම දන්න බහුතරයක් ආදර කතා වලට තියෙන්නේ එක පැත්තයි..(පව්..)
ඒත් සමහර ආදර කතා තියෙනවා පැති තුනක් හතරක් තියෙන.....(අසම්මතය)

ප්‍රශ්නය මේකයි..
සිංගල් කොල්ලෙක්ට ලස්සන සිංගල් කෙල්ලෙක් දැකපු ගමන්ම හිතෙන දේවල් මොනවද ??



01.සමහර එවුන්ට එක පාරින් ආදරේ හිතෙනවා..
02.තවත් සමහර එවුන්ට අනේ මට මෙයා දැකල පුරුදුයි වගේ නේද කියල හිතිලා ආයෙමත් හැරිලා බලනවා..
(ඊට පස්සේ ඒක ගැන හිතන්න පටන් ගන්නවා )
03.සමහර එවුන් ගේමට එන්ටර් වෙනවා කියල හිතල කෙල්ල ගැන විස්තර හොයන්න පටන් ගන්නවා..
04.තව සමහර එවුන් , පැරදෙන්නත් කලින්ම පරාජය භාර අරන් හිතනවා, අනේ මට කවද එයාට ලං වෙන්න පුළුවන්ද?? කියල..(මනෝ ලෝකෙන් කෙල්ලගෙන් කැමැත්ත අහල කෙල්ල බෑ කියලත් ඉවරයි )
05.ඔය අස්සේ තව සමහර එවුන් වැල පොයින්ට් ගන්නවා..

05 වැනි එක පොඩ්ඩකට පැත්තකින් තියමු..
අනිත් කරුණු 04 ආදරේ සම්බන්ධයෙන් ඇති වෙන ගැටළු..

කවදාවත් ආදරේ කරලා නැති එවුන්ට උභතෝකෝටික (චතුෂ්කෝටික නෙවේ..) ප්‍රශ්නයක් වෙන්නේ ඒ දැක්කේ තමන්ට ගැලපෙන කෙනාමද කියන එක...

දැන් ඇත්තටම මේ දැක්කේ තමන්ට හරි යන කෙනාමද මේ කියල කොහොමද තීරණය කරන්නේ ??
මම ඉතින් කීප දෙනෙක්ගෙන් ඇහුවා...


පිළිතුරු අංක 01. 
කතාබහ කරලා... ටික කාලයක් ආශ්‍රය කරලා..
මේක කරන්න කොහොම හරි කෙල්ලට ඩිරෙක්ට් ළඟා වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙන්න ඕන..
එහෙම බැරි නම් වැඩේ අමාරුයි..
කරන්න පුළුවන් නම් හොඳම ක්‍රමේ මේක..ඒත් ගොඩක් වෙලාවට කෙල්ලගේ උත්තරේ වේවි ඔයා මට හොඳ වැඩියි.. ඔයා මගේ හොඳම යාලුවෙක්. අපි හැමදාම යාළුවො වගේ ඉමු කියල...
එහෙනම් මොකද්ද කරන්න ඕන ??
කෙලින්ම ගිහින් කෙල්ලගෙන් අහපන්... එච්චරයි..

පිළිතුරු අංක 02
fb එකේ Add කරගෙන.. චැට් කරලා ගේම් රික්වෙස්ට් යවලා , කවි ලියලා ලස්සන ෆොටෝ ශෙයා කරලා...

සමහරවිට හරි යයි.. කෙල්ල ඔය වගේ ඒවාට කැමති නම්..
සමහරවිට වරදීවි.. කෙල්ලට ඕනවට වඩා ඇනයක් වෙනවා නම්..
ඒ වගේම රටේ ලෝකෙ හැමෝටම මම මෙයාට ලව්, එහෙම නැත්තන් මම මෙයා නිසා දුකෙන් වගේ කියල තේරෙන දේවල් fb දානකොට කෙල්ල අපහසුතාවෙට පත් වෙනවා නම් අනිවා අප්පිරිය වෙයි..
එහෙනම් මොකද්ද කරන්න ඕන ??
කෙලින්ම ගිහින් කෙල්ලගෙන් අහපන්... එච්චරයි..

පිළිතුරු අංක 03
අඳුරන එවුන්ගේ මාර්ගෙන් කෙල්ලට ළඟා වීම ..
භයානකයි. අන්තිමේ යහළුවාත් කෙල්ලාත් දෙදෙනාම නැති වී යාමට ඉහල සම්භාවිතාවයක් ඇත...
එහෙනම් මොකද්ද කරන්න ඕන ??
කෙලින්ම ගිහින් කෙල්ලගෙන් අහපන්... එච්චරයි..

පිළිතුරු අංක 04 
කෙල්ලට පේන්න වැඩ දාල, බොරු පාට් දාල කෙල්ලගේ අවධානය දිනා ගැනීම..
එහෙම දාල කෙල්ලව දිනා ගත්තොත් ඒ විදියටම ඉන්න වේවි...ඒ කියන්නේ බොරු චරිතයක් නම් රඟපෑවේ ඒ චරිතේ දිගටම කරන්න වේවි..
 එහෙනම් මොකද්ද කරන්න ඕන ??
කෙලින්ම ගිහින් කෙල්ලගෙන් අහපන්... එච්චරයි..

පිළිතුරු අංක 05 (මම ආසම එක..)
කෙලින්ම ගිහින් කෙල්ලගෙන් අහනවා..
බය වෙන්න එපා.. අනිවා බෑ කියනවා..එහෙම තමයි කෙල්ලෝ..
තව දෙතුන් පාරක් අහන්න වෙනවා...

එහෙනම් මොන මඟුලක්ද කරන්න ඕන ??

මම දන්නේ කොහොමද??
ඒක ඉතින් තමන් තීරණය කරන්න ඕන..
කරන්න ඕන දේ උපදෙස් දෙන්න මම කවුද??

සමහර එවුන්ට තනිකම සැපයි.. (ප්‍රශ්නේ තියෙන්නේ මේක තේරෙන්න කල් යනවා.. ඒ නිසා මොකෙක්ටවත් තනියම ඉඳපන් කියල උපදෙස් දීල වැඩක් නැහැ.. තමන්ම කට්ට කාල තේරුම් ගන්න ඕන )
පූජනීය ප්‍රේමවන්තයන්ට ආදරය සැපයි..
තවත් එවුන්ට කම්සැප සැපයි..
අනිත් එවුන්ට #$@%^#....

කවද හරි කෙල්ලොන්ව තේරුම් අරන් ආදරේ කරනවා කියල හිතන මනුස්සයන්ට ඉතින් දෙයියන්ගේම පිහිටයි..
ඒත් කෙල්ලොන්ගේ හැටි තේරුම් ගන්නේ නැතුව ආදරේ කරන්න පටන් ගන්න මනුස්සයට ඒ පිහිටත් නෑ මම හිතන්නේ..

කෙල්ලන්ව තේරුම් ගන්න බෑ කියන එක උන්ට කරන අපහාසයක් නෙවේ.
මොකෙක් හරි පොදුවේ ගෑනු සේරම එකයි කියල කියපුවම මම අහන්නේ ඉතින් උඹේ අම්මත් එහෙමද කියලා... (සැර වැඩියි.. කියන්න කලින් පොඩ්ඩක් හිතන්න ඕන )

තමන්ගේ දේවල් වලට පුදුම විදියට ආදරේ කරන , තමන්ගේ දෙයක් නැති උනොතින් දවස් ගානක් අඬන කෙල්ලෝම තමයි කවද හරි අම්මල වුන කාලෙට තමන් බඩගින්නේ ඉඳගෙන දරුවොන්ට කන්න දෙන්නේ.. තමන්ට අලුත් ඇඳුමක් ගන්න සල්ලි නැතත් දරුවට ඇඳුම් අරන් දීල ඒ දිහා බලල සතුටු වෙන්නේ..
කෙල්ලෝ කියන්නේ සෙල්ලම් බඩු නෙවේ. ඒකම අනිත් පැත්තටත් වලංගුයි.. කොල්ලෝ කියන්නෙත් සෙල්ලම් බඩු නෙවේ..

කෙල්ලෙක් එක්ක යාලු වෙන්න (ආදරය කරන්න ) අමාරුයි..
ඒක පවත්වාගෙන යන්න ඊට අමාරුයි...
ඒක කෙල්ලොන්ගේ වැරද්දක් නෙවේ.. ආදරේ කියන වචනේ තේරුම් ගන්න හැටියේ වැරද්දක්..
ඕක තේරුම් කරන්නවත් තේරුම් ගන්නවත් බැරි දෙයක්..
ඒත්...

ආදරේ කියන්නේ සෙල්ලමක් නෙවේ..
හැරෙන්න හිතාගෙන පටන් ගන්න ඕන දෙයක් නෙවේ...
කරනවා නම් බැහැල කරන්න ඕන..
ආදරේ කරන්න අමුතුවෙන් මහන්සි වෙන්න ඕන නෑ..
දෙන්න හොඳට මැච් වෙනවා නම් නිකන්ම තමන්ට ඕන ජීවිතේ ලැබෙනවා...


කවදාවත් කිසිම කෙනෙක්ට ආදරේ සම්බන්ධයෙන් උපදෙස් දෙන්න යන්න එපා..
ගොඩක් වෙලාවට සමහර අය තමන්ගේ ලව් ප්‍රශ්න ගැන කතා කරන්නේ ඒවාට උපදෙස් ඕන වෙලා කියල හිතන්නත් එපා.
ඒ වෙලාවට කියන දේවල් අහන් ඉන්න එක , ඌට උපදෙස් දෙනවට වඩා කරන්න පුළුවන් උදව්වක්..
ඒ වගේම හරි හමන් උපදෙසක් දෙන්න පුළුවන් නම් ඒක හෙනම ලොකු පිනක්..
කොහොම හරි කෙල්ලෙක් ඕන නැත්තන් ජීවත් වෙලා වැඩක් නෑ වගේ කියල හිතන අයට නම් කවදාවත් ආදරේ ගැන උපදෙස් දෙන්න යන්න හොඳ නෑ..

(මේ මම දෙන්නේ උපදෙස් නෙවේ.. හිතන්න කැමති නම් හිතන්න )
මොනවා ලිව්වද මන්දා.. ලෝකේ වෙන දේවල් දැක්කම ඉබේම ලියවුනා...

මම සර්ව සාධාරණ නෑ..
මේ සම්බන්ධයෙන් මහා ලොකු දැනීමකුත් නැහැ..

මේ මගේ අදහස් විතරයි.. හරිද වැරදිද කියල මම දන්නේ නෑ..






Saturday, November 2, 2013

අයිතිය සහ කැමැත්ත


ගහ අයිති පොළොවට,
ඒත් ගහ කැමති මලට...
මල අයිති ඒ ගහට,
ඒත් මල කැමති සමනලයට... 




Friday, October 11, 2013

මම ??



දිනන උන් අතර පැරදෙමින්...
පැරදුනත් තවම හිනැහෙමින්...
මම නොවන මම නිමවමින් ....
සොයමි මම මාව හෙමි හෙමින්..

Friday, September 20, 2013

...සමහරු.. (ආතාගේ ටයිප් කවියක් ලිවීමට දැරූ උත්සාහය )


තමන්වත් හරි හැටි නොදන්නා දේ ගැන
ඇතැම් මහතුන් ලියති පඬිවරුන් විලාසෙන්
වෙන කොහොමවත් නොව
උපමා කොට තමන්ගේ අත්දැකීම්

තමා ලද අත්දැකීම් - ලෝකයේ සියලු දේ වලට වඩා තඩි යැයි සිතාලා
තමා ලද අත්දැකීම් - ලෝකයේ නියම හැටි පෙන්වයි සිතාලා....
ලියන මේවා බලලා - චූං වෙනවා කඩේ යන බුවාලා....

රාමුවක කොටුවෙලා
පොළොවේ පය ගහන් සිටිමි යැයි සිතලා
කරන මේ චෝදනා නඟන ඒ අදෝනා වලට වඩා
ළිඳේ ගෙම්බාගේ  - බක බක නද වුවත් මිහිරි ය

කියූ විට අදහසක් නැතිනම් වැරද්දක්
රෙද්ද උස්සන් බනිති හෙළුවෙන්....
එහෙමත් කට වසනු බැරි නම්
එනවා වලියට නම් ගම් නොමැති විලසින්....


Saturday, June 1, 2013

පොඩි අයියා.... බැඳලා ගියා


ලොකු අයියයි පොඩි අයියයි අහිංසක මමයි
පිස්සු නට නටා හිටියේ කුඩා කල සිටයි
කාලය ගත වෙලා ගිහින් නොදැනුන ගානයි
පොඩි අයියා බැඳලා ගියා මට හරි පාලුයි....


Tuesday, February 5, 2013

ඉරිසියාව ද, ධනාත්මක චින්තනයද ....


කහ මල් පිපී ගස් සතුටින් සුළඟේ වැනෙනවා
මල් එක දෙක ගිලිහීලා බිමට වැටෙනවා
මල් පාරේ ජෝඩු ජෝඩු ඇවිදන් යනවා
මට මොකටද ඕවා - මම අහක බලනවා

හෝල්* එකේ බොග** දාන්න කම්මැලි හින්දා
ලයිබ්රියට යන්න හිතුවමුත් දවසක්දා
ජෝඩු පිටින් ලයිබ්රියේ බොග ලනව එදා
මම තනියම බොග දැම්මා එහෙම මට හොඳා

වැහි වැටෙනා කලදී හන්තාන පියසට 
ගලහ පාරේ ජෝඩු යනවා එක කුඩේ යට 
හරි සතුටින් ඒ අය පිය මැනලා ගියාට 
තෙමෙනවානේ භාගේ භාගේ හිතෙනවා මට 

එන්න කියූ විට වැඩ හැර  දුවගෙන යන්න
රෑ වුනාම හෝල් එකට ගොස් ඇරලන්න
ගෙදර යද්දී පරෙස්සමෙන් එක්කන් යන්න 
මේ වැඩ මට නැත නිදහස ඇත ඇතිවෙන්න   

මහ වැලියත් තුරු මුදුනත් අපි දෙන්න වගෙයි 
හන්තානට පායන හඳ හරිම ලස්සනයි 
එලෙස දොඩන පෙම්බස් මට  කිසි රහක් නැතියි
ඕව නැතත් පෙම් කරන්න අනේ මම දනියි..

* හෝල් එක = හොස්ටල් එක ,
**බොග දානවා = පාඩම් කරනවා