Monday, November 9, 2015

බෑගයේ කටුව






මොකද්ද ළමයො මේ බෑග් එකේ ගහල තියෙන කටුව.. මගේ අතේ දැන් දෙපාරක් ඇනුනා..

කොන්දොස්තර මහත්තය එහෙම කෑ ගැහුවෙ බස් එකේ හිටපු අවුරුදු 15ක විතර ඉස්කොලේ ඇඳුමෙන් හිටපු ගෑනු ළමයෙකුට..

මුලු බස් එකේම සෙනඟ ඇය දිහා බැලුවෙ ඉබේටමයි..

සෑහෙන්න ලැජ්ජාවකට පත් වුන ඇය බෑග් එක ඉක්මනටම ගලවල වටපිට බැලුව.. මගේ අතට මම ඒක ඉල්ල ගත්ත..

බෑග් එකේ එක පොකට් එකක් කැඩිලා..
එහෙන් මෙහෙන් ගහපු මැහුම් අතරේ , ගහපු යතුරු කටු 4කින් අමාරුවෙන් ඒ පොකට් එක බෑග් එකට සම්බන්ධ වෙලා තිබ්බ.

එයින් එක කටුවක් භාගෙට ගැලවිලා..
ඒක තමයි අර කොන්දොස්තර මහත්තයගෙ අතේ ඇනිලා තියෙන්නෙ..

කොන්දොස්තර මහත්තයගෙ කෑ ගැහිල්ල පාපුවරුවෙ හිටපු ඉස්කෝලෙ යන කොල්ලො සෙට් එකකට දුන්නෙ කුණු රසයක්..

මොක්ද්ද නන්ගි ඒ කටුව ආ??
ඔව් ඔව් මගෙත් ඇනුනා නන්ගිගෙ ඒ කටුව...
මේ විදියට කෑ ගහල උන් ආතල් ගත්ත..

පෙනුමෙන් ඒ ළමයි හැම දෙනාම එකම ආර්ථික මට්ටමක් තියෙන අය වගේ..
ඒත් අවස්ථාව ආවම උන් තමන් උසස් කියල පෙන්නගන්න හැදුවා...


....මිනිස්සු....

හරි පුදුම සත්තු ජාතියක්...
තමන්ගෙ පීඩනය තව මිනිහෙක්ගෙන් පිටකරන්න කැමති සත්තු ජාතියක්...
ඒ වගේම තමන්ගෙ පවර් එක පෙන්නන්න පුළුවන් අවස්තාව ආවම ආයි දෙවරක් හිතන්නෙ නැතුව පෙන්නන ජාතියක්...

තව මිනිහෙක් තමන්ට වඩා අසරණයි කියල දැනුනම ඌව පාගල දාල කුණු ආතල් එකක් ගන්න ගොඩක් මිනිස්සු කැමතියි..
ඒක තම තමන්ගෙ  අද්යාපන මට්ටම මත රඳා පවතින දෙයක් නෙවෙයි... තමන් හැදුන පරිසරය, තමන්ගෙ  ආකල්ප, මත රඳා පවතින දෙයක්..

කැම්පස් ඇතුලෙ ඉන්නකොට පරාර්ථය හොයන බොහොමයක් දෙනා ඒවයෙන් එලියට ආවම පිටසක්වල ජීවියො වගේ හැසිරෙන්නෙ ඒකයි...
අසරණ වෙලා එන රෝගීන්ට සාත්තු සේවක මහත්තුරු, රටේ නැති ලයින් දෙන්නෙ ඒකයි...
සමහර රජයේ ආයතනවලට ගියාම අපට, ඒවයෙ වැඩ කරන උන්ගෙ ගෑස් බලන්න වෙන්නෙ ඒකයි...
මේ උදාහරණ කීපයක් විතරයි...

මේ දේවල් වෙනස් කරන්න පුළුවන් නම් ලෝකෙ සෑහෙන්න ලස්සන වේවි...



Saturday, October 31, 2015

ගහපන් ඔය කාලකන්නින්ට - වෙනස දැන් සනීපයි ද ??







කොහොමද මුදලාලි ?

හොඳින් ඉන්නවා මහත්තයා .. කොහොමද ඉතින් ?

මට නම් කිසිම හොඳක් නෑ මුදලාලි.. පොඩි දූගේ ප්‍රතිපල ආවා නේ..
මේ සැරෙත් නූලෙන් විශ්ව විද්‍යාලේ මිස් වෙනවා ..
උසස් පෙළ කරන ළමයින්ගෙන් කොච්චර පොඩ්ඩයිද මේ රජයේ කැම්පස් වලට ගන්නේ?
මොනවා කරන්නද ඉතින්.. ප්‍රයිවට් කැම්පස් එකකටවත් දානවා..

ඒකත් එහෙමද..
ඇත්තට ඇයි මහත්තය රජයේ විශ්ව විද්‍යාලවලට මීට වඩා ළමයින්ව ගන්න බැරි ?

කවුද දන්නේ මුදලාලි..
කවුද ඉතින් ඕවට කතා කරන්න යන්නේ ??
කවුද ඕව ගැන හොයන්න යන්නේ ??

අපටත් ඔන්න ඔහේ වෙන දෙයක් බලන් ඉන්න නේ වෙලා තියෙන්නේ ..

...................................................................................................................................................................

කට් ඕෆ් බැලුවද බං ?

ඔව් මචන්.. මට මෙඩිසින් අහු වෙන්නේ නෑ බං.. එපා වෙලා ඉන්නේ ..

ඕව ඔහොම තමයි මචන්.. ආයි විභාගේ කරනවද ඉතින් ?

තාම හිතුවේ නෑ බං.. බලපන්. මේක හෙනම අසාධාරණයි බං.. මෙච්චර රිසල්ට් එකක් දාලත් යන්න බැරි හැටි..
කරුමේ තමයි බං.. ප්‍රයිවට් කරන්න සල්ලි තිබ්බ නම් මෙච්චර දිදී ඉන්නේ නෑ බං රෙද්ද..

එහෙම තමයි බං.. හැබැයි බං පහසුකම් වැඩි කරලා ගන්නවා නම් අපේ කැම්පස් වලට ගන්න ප්‍රමාණය තව වැඩි කරන්න පුළුවන් කියල අයිය කෙනෙක් දවසක් මාත් එක්ක කිව්වා බං..

වෙන්න ඇති බං..
ඒත් කවුද ඕව ගැන කතා කරන්න යන්නේ ??
කවුද ඕව ගැන හොයන්න යන්නේ ??

...................................................................................................................................................................


මචන් ... 12 ට ගලහ හන්දියේ පිකට් එකක් .. අනිත් උන්ටත් මෙසේජ් එක දීපන්

මොකද්ද කේස් එක මචන් ??

අධ්‍යාපනය පෞද්ගලීකරණයට විරුද්ධවයි , විශ්ව විද්‍යාල පහසුකම්  වැඩි කරන්න කියලයි...
උසස් අධ්‍යාපන ඇමතිය මේ පාර සාකච්ඡාවත් අල කරලා..

ඒකත් එහෙමද..

කකා ඉන්න වෙලාවක් තියෙන එකක් නෑ බං..
අපේ අනිත් උන් අඬගහන් 12 වෙද්දී ගලහ හන්දියට වරෙන්..
හරි මචං...

...................................................................................................................................................................

මොකෝ මෙච්චර මේ ට්‍රැෆික් එක ?

මේ අර කැම්පස් හු***ගේ පුතාල පාරේ පිකට් එකක් බං..
අනේ ඇත්තට මුන්ට නෙලන්න ඕන හොඳ එකෙන්..

අපේ බදු සල්ලි වලින් ඉගෙන අරන් අපටම කෙලවනවා ..කාලකන්නි හැත්ත..
මුන්ට කාලා බීලා නිකන් ඉන්න බැරි හැටි !!
බලපන් මුන් නිසා අපේ වෙලාව නාස්ති වෙන තරම්...

...................................................................................................................................................................


ප.ලි.
කැම්පස් එවුන් පාරටවිත් ඇතැමුන් කියන අන්දමට මගුල් නටන්නේ බදු සල්ලි වලින් ඉගෙන ගෙන කාල බීල නිකන් ඉන්න බැරුවට නොවේ ය.. මේ වෙනවිටත් උන්ගේ අතේ ඩිග්‍රිය තිබේ.. උන්ටත් පාඩුවේ නිදහස් අධ්‍යාපනයේ අග්‍රඵලය නෙලාගෙන පාඩුවේ පිට වී යා හැකිය.. කිසි ගේමක් නැත.. කාගෙන්වත් කුණු බැනුම් අහන්නවත් ගුටි කන්නවත් උවමනා නැත .. උන්ට මේ සටන් කිරීමෙන් ලැබෙන ලබ්බක් නැත ..

උන් සටන් වදින්නේ අනාගතයේ කැම්පස් එන්න ඉන්න උන් වෙනුවෙන් ය ..
උන් හිතෙන හිතෙන වෙලාවට පාරට බැස පාර අවහිර කරන්න තරම් ගොබ්බයන්වත් එක එක පක්ෂ වලින් ෆෝම් කරන විට ෆෝම් වෙන්න තරම් රූකඩවත් නොවේ ය... උන් පාරට බහින්නේ සාකච්චා පිළියම් අසාර්ථක වූ විට ය..

රජයේ විශ්ව විද්‍යාල වල පහසුකම් වැඩි කිරීම හෝ අධ්‍යාපනය පුද්ගලීකරණය අවම කිරීම ගැන කැම්පස් සිසුන් හෝ ආචාර්ය මණ්ඩලය හැරුනුකොට මේවන විට සංවිධානාත්මකව පෙළ ගැසුණු වෙන කවුරුන් හෝ සිටීද ??
උනුත් නිහඬ වුනොත් මේ දේවල් ගැන  කතා කරන්න ඉන්නේ කවුද ??

උන්ට ඇඟිල්ල දික් කරන්න කලින් , බදු ගෙවීම හැරුනුකොට වලපල්ලට යමින් තිබෙන නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් තමන් කරපු දෙය හෝ  කරන්න හිතන දෙය ගැන මොහොතක් සිතා බලන්න..  


Thursday, June 25, 2015

... ගබ්සාව....

විනාඩි 20ක් විතර තිස්සේ මහන්සි වෙලා, ගල් ගෙඩියක් වගේ දතක් ගලවලා හෙම්බත් වෙලා හිටපු මම ඒ රෝගියා පිටත් වුනාට පස්සේ පුටුවට හේත්තු වුනා...

එදා දවසට මට එහෙම අහු වුන දෙවැනි දත තමයි ඒ..
කොච්චර අමාරු වුනත් එහෙම එකක් ගැලෙව්වම තියෙන සතුට ඉතින් කියල නිම කරන්න නම් බෑ..
මහන්සි වෙලා හිටපු මම පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න හදනකොටම, තව කවුද එන සද්දයක් ඇහුනා..

ඩොක්ට ඉන්නවද දන්නේ නෑ නේද ?

දොරෙන් බාගෙට වගේ එබුන මැදිවයසේ වගේ ගෑනු කෙනෙක් මගෙන් එහෙම ඇහුවා..

ක්ලිනික් එකට එන ගොඩක් අය මගෙන් ඩොක්ට ඉන්නවද කියල අහන එක දැන් මට පුරුදු දෙයක්..
(මට ඩොක්ට පෙනුමක් නෑ ඒ කියන්නේ )

ඔව්..මම තමයි ඩොක්ට .. මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ ??
ආපු හිනාව තද කරගෙන මම එහෙම ඇහුවා..

ඩොක්ට මෙතන දත් සම්බන්ධ දේවල් විතරද කරන්නේ ??

ඔව් ඉතින්.. ඔය බෝඩ් එකේ තියෙන්නේ.. මම කිව්වේ බෝඩ් එක දිහාට අත දික් කරලා..

නෑ අපේ අක්ක කෙනෙක් කිව්වා.....
ඊට පස්සේ පොඩි නිහැඬියාවක්..

මොකද්ද කිව්වේ ??

නෑ මේ .... මේ....
එපාර එයා මගේ ඇස් දිහා කෙලින්ම බලනවා ..

මට වැඩේ තේරුණා... මීට කලිනුත් මේ වගේ කෙනෙක් ඇවිත් තිබූන නිසා..




ඔයා අහන්න හදන්නේ බබාලා සම්බන්ධ දෙයක්ද ??

ඔව් ඔව් ඩොක්ට..
මෙතැන එහෙම ඒවා කරනවද ??

අපෝ නෑ.. අපි නම් ඕව කරන්නේ නෑ..
කාටද ඔයාටද ?
මේ මනුස්සයට නම් වෙන්න බෑ.. දූටවත් වෙන්න ඇති කියල මට හිතුනා ..

ඔව් ඩොක්ට ..

අපොයි ..
ඇයි ඉතින් නැති කරගන්න හදන්නේ ?
ඇස් දෙකේ කඳුළු පුරවගත්ත ඒ මනුස්සය මගෙන් අහන්නේ නැතුවම එතැන තිබුන පුටුවේ වාඩි වුනා..

මගේ මහත්තය කටාර් ඉන්නේ ..
ළඟදී ඇවිත් ඉඳලා දැන් පිටත් වෙලා සති 3ක් විතර වෙන්නේ ..
මේක එයාට කිව්වට එයා එයාගේ කියල විශ්වාස කරන එකක් නෑ සර්..

දැන් ඔයා ඕක දැනගෙන කොච්චර කල්ද ?
ඇයි ඉතින් ඔයාට ඕක මහත්තයට තේරුම කරලා දෙන්න බැරි ?
ඇස් දෙකේ කඳුළු පුරවගත්තත්, මේ මනුස්සය මේ කියන්නේ නම් අලි කෙප්පයක් කියල මගේ හිත මට කියනවා..

එයාට කියල වැඩක් නෑ සර්.. විශ්වාස කරන එකක් නෑ ..
මගේ ලොකු දුව මේ අවුරුද්දේ උසස් පෙළ කරනවා ..
පොඩි දුව මොන්ටිසෝරි..
ලොකු දුවට මගේ ගැන මොනවා හිතෙයිද සර්..

ඉතින් දැන් ඔයාට වයස කීයද ?
(මේක නම් හොර සීන් එකක් වෙන්නම ඕන .. මට හිත ආයෙමත් කියනවා )

මට 41ක් වෙනවා සර්..

අපොයි.. 41 කියන්නේ ළමයි හදන වයසක්ද ...
මට නිකන්ම කියවුනා..
ටික වෙලාවක් සද්ද නැතුව හිටිය ඒ මනුස්ස ආයි කියවන්න ගත්තා..

මට හොඳටම සීනිත් තියෙනවා ..
තුන්සිය ගානයි ගිය සතියේ බලද්දී ..

මෙහෙමයි ..
ඔයා දන්නවා නේද දරුවෙක් නැති කරනවා කියන එක පවක් කියලා ..
ඒවා මේ රටේ නීත්‍යානුකූල නැහැ කියලත් දන්නවා නේද ??

දන්නවා ඩොක්ට ..
මට වෙන කරන්න දෙයක් නැහැ ..

දැන් ඒ මනුස්සයාගේ කඳුළු ශීඝ්‍රතාවේ වැඩි වෙනවා වගේ දැනෙනවා ..
කොහෙවත් යන මරාලයක් මගේ ඔලුවට කඩන් පාත් වෙන්න යන බව තේරුනත් ඒ මනුස්සයව එලවගන්නවට වඩා මට කරන්න දෙයක් තියෙනවා කියල මට හිතුනා..

අනේ ඩොක්ට දන්නවා නම් මට ඒ තැන කියන්න ..
ලොකුම පිනක් .. මම හොඳටම අසරණ වෙලා ඉන්නේ ඩොක්ට ..

අපොයි .. මම එහෙම තැනක් දන්නේ නැහැ ..
දැනගත්තත් ඔයාට කියන්නෙත් නැහැ ..
ඔයා ඔය විස්තර ගිහින් හොස්පිටල් එකට කියන්න ..
මට ඕවට කරන්න කිසිම දෙයක් නැහැ ..

මම VOG සර්ව හම්බෙන්න යන්න තමයි හිටියේ සර්..
ඒත් මෙහෙම තැනක් තියෙනවා කියල දැනගත්ත නිසා මම මෙතනට ආවේ ..

අනේ මේ අපි නම් ඕව කරන්නේ නැහැ..
ඔයා ගිහින් ඕක කියන්න හොස්පිටල් එකේ...
සමහරවිට ඔයාගේ වසයසයි ඔය සීනි තත්ත්වෙයි සලකල බලල එයාල හොඳ දෙයක් කරාවි..

හොස්පිටල් එකෙන් එයාට සහනයක් නොලැබෙන බව ෂුවර් වුනත් , එතනින් මට වඩා හොඳට මේ ප්‍රශ්නේ මැනේජ් කරයි කියල හිතුන නිසා මම එහෙම කිව්වා ..

එයාල එහෙම කරයිද ඩොක්ට ?
මම එහෙනම් හොස්පිටල් යන්නද ?
ඒ මනුස්සයාගේ ඇස්වල බලාපොරොත්තු පිරිලා..

හ්ම්ම් එහෙනම් එහෙම කරන්න ..
වෙන තැන්වලට නම් යන්න එපා.. ඒවගේ තැන්වල සුදුසුකම් තියෙන වෛද්‍යවරු නැහැ ..
මොනවා හරි වුනොත් ඔයාගේ ජීවිතේටත් හානි වෙන්න පුළුවන් .. හරිද ??

හරි සර් ... ගොඩක් පින් සර් ..

හ්ම්ම්..දැන් ඔයා යන්න..

ඒ මනුස්සය ගියාට පස්සේ මම මගේ වෛද්‍ය යාලුවෙක්ට ඇමතුමක් ගත්තා...
ඒ , හොස්පිටල් එකෙන් මේ වගේ තත්ත්වයක් කොහොමද මැනේජ් කරන්නේ කියල අහන්න...

ඉතින් ඒ යාලුවගෙන් විස්තරේ අහගත්ත මම, අනාගතේ උපදින ඒ දරුවාගේ ජීවිතේ මොන වගේ වෙයිද කියල කල්පනා කරන්න පටන් ගත්තා...

Monday, May 18, 2015

....රූමාගේ මතක ....








මචං මම බොට කියන් නැතුවම
පෙරේදා පේරේ ගියා..
කිව්වේ නැත්තේ ඇත්තමයි බං
උඹට දුක වැඩි වෙයි හිතා...

පේරේ තාමත් ඒවගේ ඇති
ගියේ එලෙසින් හිත හිතා ...
පුදුම විදියට එහෙ වෙනස් බං
එපා වුණි මට ගිය සැනා...

පෙට්ටි කඩයේ වාඩි වෙන්නට
තිබු පීල්ලත් එහි නැතා
හිටගෙනම මම බෙහෙත් බිව්වා
බැරලයට කකුලක් තියා...

උඹ එක්ක මම ආපු දවසට
බැචියෝ, ජුන්නියෝ ආ විටා
මුවා වුන හැටි මතක් විය මට
කෙහෙල් පඳුරට සැනෙකිනා...

දැන් එ පඳුරුත් උස ගිහින් බං
මුවා වෙන්නට බැරි ලෙසා...
අන්කල්ට මම මතක නෑ බං
පුදුම මිනිහෙක් ඒ යකා ..

වැස්ස තිබුනේ නැතත් යද්දී
කළු වලාවක් පාවුණා
එහේ සීතල දවස් ටික අපි
රත් කරපු හැටි සිහි වුනා...

උඹේ දුක මම , මගේ දුක උඹ
බෙදාගත් හැටි එක ලෙසා ....
දනී බෝතල් , මල්, සුවඳ දුම්
අනිත් උන්ටත් වැඩියෙනා...

අනිත් රූමට වාත වුන මුත්
කිව්වේ නෑ ඌ ඒ ගැනා..
ගත්තා ආතල් අපි දෙන්නගෙන්
අපට පාඩුත් නෑ සනා....

ආටෝ එක්කල වලි ගියත් අපි
බින්දේ නෑ මල් සබඳතා
හඳට යන්නට බැරි වුනත් අපි
තරු ළඟට හරි පියැඹුවා...

උඹට මතකද දෙන්න එක්කම
දිනක් මල් ඇට පැල කරා
දාස් පැල ළඟ පැල වෙලා ඇති
බලන් එන්නත් බැරි වුනා...

මොනවා කෙරුවත් රෑ මැද්දේ හරි
දෙන්න නැගිටලා වැඩ කරා..
මතක් වෙනකොට ඒ දවස් මට
පපුවේ දුක් ගුලි හිර වුනා ...

එක ලෙසින් අපි දෙන්න හිටියට
මම බිඳක් ඉස්සර වුනා...
කතා කරලා වැඩක් නැහැ දැන්
කරමු වැඩ ඉදිරිය හිතා...

Thursday, May 7, 2015

තම්බින්ට කොහෙද වෙසක් ???? (ඩයරියෙන් )






ඒ වෙසක් පෝය ...

අම්ම සිල් අරන් ...
මම ඇත්තටම අකැමැතියි අම්මා සිල් ගන්න එකට. මොකද නිවාඩුවට ගෙදර එන දවසට අම්ම ගෙදර ඉන්න ඕනමයි කියල මම තදින්ම  විශ්වාස කරන නිසා.
අම්ම එක්ක පැය 24 ම කතා කර කර ඉන්නේ නැති වුනත් , එක මොහොතකට හරි අම්ම ගෙදර නැති වුනාම මුළු ගෙදරම පාලුයි කියල මට හිතෙනවා..

සෙනසුරාදා දවල් වැඩ ඇරිලා එන්න හදනකොට ආපු  අම්මගේ දුරකථන ඇමතුම කිසිම හේතුවක් නැතුව මට මතක් වුනා..

චූටි පුතා බස් එකට නැග්ගද ??
 නෑ අම්මේ, දැන් වැඩ ඉවර වෙලා යන ගමන්..

හරි පුතේ පරෙස්සමෙන් එන්න..
හරි අම්මේ..

හරි මම තියන්නම් එහෙනම්.. බුදු සරණයි..
ආහ් මේ පුතේ ..

කියන්න අම්මේ ..
හෙට පෝයට මම සිල් ගන්නවා හොඳේ.. කමක් නෑ නේ ??

අම්මා එහෙම ඇහුවේ හරියට මගෙන් අවසර ගන්න වගේ..
ඒ අහපු හැටියට අම්මට එපා කියල කියන්න මට බෑ..
ඒත් මම අකැමැති බව පෙන්නනත් ඕන ..

හ්ම්.. හරි .. මම තියන්නම්....
මම මගේ අකමැත්ත පෙන්නුවේ එහෙම..

ඊයේ අම්මට උදේ ඇහැරෙන්න ෆෝන් එකේ එළාම් එක තියල දුන්නෙත් අකමැත්තෙන්..
මොනවා කරන්නද .. අම්මට සතුටකට තියෙන්නේ එච්චරයි..

................................................................................................................................................................


පුදුම රස්නයක් තියෙන්නේ .. හුළං බින්දුවක් නැහැ
ගිනිගහන රස්නෙත් තාත්තා සිගරට් එකක් පත්තු කරගෙන ..
අනේ ඇත්තට.. සීතලයි නම් තව කමක් නෑ..

එතකොට මට මතක් වුනේ පේරාදෙණිය..
එහෙ වහින දවසට, සීතල දවසට මගේ දවස ගත වුන විදිය ..
අපරාදේ කියන්න බැරි මටම ගැලපෙන රූමෙක් හිටිය මට ..
මේ දවස්වල එහෙ කොහොමද දන්නේ නෑ.. අම්මටසිරි, මගේ බයික් එක තාම එහේ..

තාත්තා කහින සද්දෙ නිසා මගේ සිතිවිලි දැහැන බිඳුනා ..

කැහැ කැහැ තව සිගරට් බොන්න..
එතකොට හොඳ වෙයි ඔය කැස්ස ..

ඒ උපදෙස තාත්තට දෙන්න අවංකවම මට අයිතියක් නැහැ කියල මම දන්නවා වුනත් මට ඉබේටම එහෙම කෑ ගැහුනේ  තාත්තට තියෙන ආදරේ නිසා..
මගේ දිහා බලපු තාත්තා සිගරට් එක අරන් මිදුල පැත්තට ගියා ..

අනේ අම්මප තියෙන මුරණ්ඩු කමක් ..

...................................................................................................................................................................

අම්මව බලන්න යන්න ඕන..
ගිය පාර පෝයට මම අම්මව බලන්න ගිය වෙලාවේ මට මතකයි මාව දැකල අම්මගේ ඇස් දිලිසුන හැටි..
මම මීට කලින් කවදාවත් එහෙම ගිහිල්ල නැහැ.. එදා යන්න හිතුනේ ඇයි කියල මතක් කරන්න මම උත්සාහ කරා..
මතක නෑ..

මම යනකොට දවල්ට කාල අම්ම වාඩි වෙලා ඉන්නවා ..
අම්මගේ තනියට හිටියේ එහා ගෙදර අක්කා..

මම හිතුවේ අද නම් එන එකක් නෑ කියල..
අම්මට කියවුණා..

ඒ කියන්නේ අම්ම මාව බලාපොරොත්තුවෙන් තමයි ඉඳල තියෙන්නේ..
සිල් අරන් ඉන්න අම්ම වෙනදට වඩා පුදුම ලස්සනයි නේද කියල මට හිතුනා..
අම්මගේ දිලිසෙන ඇස් නිසා ඒ ලස්සන තවත් වැඩිපුර කැපී පෙනුනා...
සිල් අරන් ඉන්න සෙනඟ අස්සේ අම්ම ලස්සනට  කැපිලා පේන්නේ මට විතරක් වෙන්න ඇති..

යන්න පිටත් වෙලා අම්මට වැන්දා..
එහා ගෙදර අක්කටත් වඳින්න ඕනද??
එක්කෝ ඕන නෑ.. මගේ මාන්නය හරස් වුනා...
මම යනවා..


...................................................................................................................................................................


කාමරේ අස් කරලා ඉවරයි .
රෑට කාමරේ රස්නේ අඩු වෙන්න cfl බල්බ් එකක් ගෙනත් දාන්න ඕන .. කාගිල්ස් යන්න හිතුනේ එහෙමයි..

කාගිල්ස් එකේ සිකුරිටි මහත්තය තව මනුස්සයෙක් එක්ක බර කතාවක ..
මම තනියම දොර ඇරගෙන එලියට ආව..
මොන මඟුලක්ද ... මෙන්න එපාර වහිනවා !!

පිට වෙලා යාගන්න බැරුව එතන පල් වෙන්නේ මම විතරක් නෙවේ කියල වටපිට බලනකොට මම දැක්ක ..
අවුරුදු 6ක විතර පොඩි දරුවෙක් වැහි බින්දු අල්ලනවා ..
තාත්තා බයිසිකලේ උඩ බඩු මල්ල තියාගෙන ඒ දිහා බලන් හිනා වෙනවා ..
වාසනාවන්ත දරුවෙක්.. වෙන පොඩි එකෙක් නම් මේ වෙනකොට බැනුම් අහලා..

අනිත් මනුස්සය කෝල් එකක ..

ජෝඩුවක්‌ වැස්සේ තෙමීගෙනම බඩුත් උස්සන් දුවල ගිහින් කිරි කිරි Aqua එකක නැගල උජාරුවෙන් පිටවෙලා ගියා.. මට ඉබේටම තාත්තගේ  ස්කූටිය දිහා බැලුනා ...
තැනින් තැන මලකඩ බැඳිලා තියෙන ස්කූටිය මගේ දිහා අසරණ විදියට බලාගෙන ඉන්නවා ..

පායන පාටක් නෑ ..
ජංගම දුරකථනය සාක්කුවෙන් අරන් මම ඇමතුමක් ගත්තා..

දැන් වැස්ස අඩු වෙන ගමන් ..
සිකුරුටි මහත්තය එක්ක කියව කියව හිටපු මනුස්සයත් එලියට ඇවිත් පායනකන් බලන් ඉන්නවා ..
හිටපු ගමන් එයා දුවගෙන ගිහින් මොකෙද්දෝ සතෙක් පාගන්න පටන් ගත්තා..

මොකද්ද පොර කරන්නේ ?? දුරකතනෙන් මගේ අවධානය බිඳුනා ..

හෙලෝ.... හෙලෝ... ඇහෙනවද ඔයා සද්ද නැත්තේ ඇයි ??
නෑ නෑ මේ මෙතන හිටපු මනුස්සය දුවල ගිහින් මොකෙද්ද සතෙක්ව පාගනවා ..

මොකෙද්ද ?
මට පේන්නේ නම් පත්තෑයෙක් වගේ..

හ්ම්ම්...

ඒ මිනිහ ආපහු ආව ... ඒත්  සතා තාම  දඟලවනවා .
වැස්සේම ආපහු දුවගෙන ගිහිපු අර මිනිහ ඌව ආයෙත් පාගන්න පටන් ගත්තා ..

කාර් එකේ පොඩි බබෙක් ඉන්නවා .. ඒ මිනිහ අපේ පැත්තට හැරිලා කිව්වා.. මුස්ලිම් පොරක් .. උච්චාරණ විලාසයෙන්ම තේරුණා..

හෙලෝ...  හෙලෝ...
ඇහෙන්න නැද්ද ??
නෑ නෑ ඇහෙනවා ... මම මේ බලන් හිටියේ  අර මනුස්සය ආයි අර සතාව පාගනවා ..

හ්ම් .. ඔයා ගෙදර ගිහිල්ලම මට කතා කරන්න
හරි හරි මම තියන්නම් එහෙනම් ..

මම  වටපිට බැලුව... වැස්සට බේරිලා නොතෙමි ඉන්න හදන එතන හිටපු හැමෝම අර මනුස්සය කරන දේ බලන් ඉන්නවා ..

ඌව මරන්න එපා !! මම කෑ ගැහුවා..

කාර් එකේ පොඩි බබෙක් ඉන්නවා ...ඒ මිනිහ ආයි කියනවා ..

හරි මම ඌව එලවන්නම් ...
මම එතනට ගියා..

පත්තෑය මැරිලා !!!

මම ආයේ වැස්සෙන් බේරෙන්න හෙවනට ආව ..

බලන්නකෝ පෝය දවසේ ඒ මිනිහ කරපු පවු වැඩේ .. එතන හිටපු වයසක මිනිහෙක් ළඟ හිටපු මිනිහට කිව්වා..
පව් අසරණ සතා ... එහෙම කිව්වේ වෙනත් මනුස්සයෙක්..

තම්බින්ට කොහෙද ඉතින් වෙසක් ... සිකුරුටි මහත්තය මගේ ළඟට ඇවිත් කිව්වා ..

අර පොඩි එකී තාම වැහි බින්දු අල්ලනවා...

...................................................................................................................................................................

ගෙදර යනකොට අම්ම ගෙදර ඇවිත් ..

මම අද දවසේ කරගත්ත සියලුම පින් පුතා කරගත්ත පින් වගේ අනුමෝදන් වේවා
අම්ම මගේ ඔලුව අතගෑවා..
මගේ හිත තිබුනේ වෙන තැනක...
පවු අර පත්තෑයා...

සාදු කියන්න පුතේ.. එතකොට තමයි පින් අනුමෝදන් වෙන්නේ..

සාදු සාදු.....

Friday, May 1, 2015

මේ හොඳ ලස්සන බෝනික්කා ..

බබා එන්නකෝ සින්දුවක් කියල දෙන්න..

හා...
පොඩි එකී දුවගෙන ආවේ බොහොම ආසාවෙන්..

මම ගෙදර ආවම වැඩි වෙලාවක් ගත කරන්නේ මේ බබා එක්ක..
මගේ ෆෝන් එකෙන් එයාට සින්දු දාල දෙන එක තමයි ගෙදර ගියාම මට තියෙන ලොකුම රාජකාරිය..
දැනට එක වසරේ ඉගෙන ගන්නවා වුනාට පණ්ඩිතකමේ නම් අඩුවක් නෑ එයාගේ..
මේ අපේ ඉස්සරහ ගෙදර අක්ක කෙනෙක්ගේ බබෙක්..
ඒත් එයාගේ දවස ගෙවෙන්නේ අපේ ගෙදර..





මං කියල දෙන්න හදන්නේ බෝනික්කාගේ සින්දුව..
ඔයා අහල තියෙනවද ?

නෑ ... අනේ දාන්නකෝ..

මේ හොඳ ලස්සන බෝනික්කා
තනිවී හඬනා හැටි දැක්කා
ඒකයි විල ඉවුරේ ඉඳලා අපි
එක්කරගෙන ආවේ //

කඳුළුවලින් කම්මුල් පෙඟිලා
ලස්සන රතු සායම් මැකිලා
බෝනික්කා අපි එක්කලා කිව්වා
රහසක් ඉකිබිඳලා

පුංචි බබා මං හිටි නිවසේ
සෙල්ලමටයි හිත මුළු දවසේ
පාඩම් වැරදීලා මේ පාරත්
පංතියෙ අන්තිමයා

ඔක්කෝටම මුල බෝනික්කා
කියලා බනිනව ලොකු අක්කා
ඒ හින්දා මං යනවා යන්නට
එනවද මා එක්කා

මේ හොඳ ලස්සන ...

මකුළු දැලෙන් රුවලක් බැඳලා
පුවක් කොලෙන් ඔරුවක් හදලා
බෝනික්කා නලවන්නයි යන්නේ
අපි ඔක්කොම නැගලා

බබා පළවෙනි පාර සින්දුව අහන් හිටියේ හුස්ම ගන්නෙවත් නැතුව වගේ..
එයාට සින්දුව තේරුනාද කියල මට සැකයි..
ඉතින් මම කතාව කියල දුන්න ..

මෙහෙමනේ බබා..
මේ බෝනික්ක විල ළඟට වෙලා අඬනවා..
ඒක දැකපු ළමයි ටිකක් බෝනික්කව එක්කන් එනවා..
එහෙම එක්ක ඇවිත් අහනවා ඇයි බෝනික්කෝ ඔයා අඬන්නේ කියලා..
එතකොට බෝනික්ක කියනවා එයා හිටපු ගෙදර පුංචි බබා පාඩම් කරන්නේ නැතුව සෙල්ලම් කරන නිසා පන්තියේ අන්තිමයා වෙලා කියලා..
ඊට පස්සේ ඒ ළමයාගේ ලොකු අක්කා බැනලා ඔක්කොටම මුල මේ බෝනික්ක තමයි කියලා..
ඉතින් ඒකට දුක හිතිලා තමයි බෝනික්ක ගෙදරින් ගිහින් තියෙන්නේ...
අන්න එහෙම යද්දී තමයි අර ළමයින්ට බෝනික්කව විල ළඟ ඉඳල හම්බෙලා තියෙන්නේ...

සෑහෙන්න බරපතල විදියට මම කියපු එක අහන් හිටපු බබා , මෙහෙම කිව්වා..
අනේ අපි ආයේ ඒ සින්දුව අහමුකෝ..

හා එහෙනම් මම දාන්නම්කො..

දැන් සින්දුව ප්ලේ වෙනවා..
ඔන්න දැන් තමයි කතාව පටන් ගන්නේ..

මේ සින්දුව කියන්නේ බෝනික්කද ?
නෑ බබා මේ ටික කියන්නේ ළමයි.. බෝනික්ක සින්දුව කියන්නේ පස්සේ..

ඇයි බෝනික්ක අඬන්නේ ?
මම කිව්වේ ඔයාට, ලොකු අක්ක බැනපු නිසා තමයි විල ළඟට ඇවිත් අඬන්නේ ..

විල කියන්නේ මොකද්ද ??
විල කියන්නේ වතුර පිරුන තැනක්.. වැව් වගේ..

ඒවයි නාන්න පුළුවන්ද ?
පුළුවන් පුළුවන් ??

මේ සින්දුව ලොකු අක්කත් කියනවද ?
නෑ එයා ඉන්නේ වෙන ගෙදරක නේ.. ඒ ගෙදර බබාගේ තමයි මේ බෝනික්කා

ඒ බබත් මේ සින්දුව කියනවද ?
නෑ එයා ඉන්නේ ගෙදර නේ..

ගෙදරද ඉස්කෝලේ ගිහින්ද ??
මම ඒක දන්නේ නෑ..

ඇයි දන්නේ නැත්තේ.. ??
අපි වෙන සින්දුවක් අහමුද ??

බැහැ.. මේක අහමු...ඇයි දන්නේ නැත්තේ කියන්න...
ඉතින් මම දන්නේ නෑ නේ !!

එයා ඉස්කෝලේ වෙන්න ඇති..
ඔව් මාත් හිතන්නේ ..

දැන් බෝනික්ක ආයි ගෙදර යනවද ?
ඔව් මේ ළමයි එක්ක යාවි එයාව ගෙදරට ..

ලොකු අක්ක ආයි බනියිද ?
නෑ මේ ළමයි කියාවි බනින්න එපා කියල..

මේ ළමයින්ට බනින් නැද්ද ලොකු අක්කා ??
බබා ඔයා දැන් කන්න යන්න..
මාත් කන්න යනවා...
පස්සේ අපි සින්දු අහමු..


කතාව ඉවරයි !!!


Wednesday, March 11, 2015

..විරාමය..



මේ පෑන මරු නේද ඩොක්ට.. 
හ්ම්ම්..

අපි dentures ලියන්න මේ ජාතියේ රතු පෑනක් ගේමු..
හරි..

සරච්චන්ද්‍ර එකේ තියෙනවා .. ගේන්නද..
හා එහෙනම්..

ඒකෙ ඔසුසලට වඩා අඩුයි සමහර ඒවා..
ආ ඇත්තද.. 
ඔව්...

සිරින්ජස් බොක්ස් එකක් එහේ 475.. ඔසුසලේ 675
එහෙනම් ජාති දෙකක් වෙන්න ඇති..
ඔව් ඔව්. එහේ තියෙන්නේ ත්‍රෙඩ් එකක් තියෙන ඒවා..
හ්ම්ම්...

ඩොක්ට එහේ හොස්පිටල් එකේ පාවිච්චි කරේ ත්‍රෙඩ් එක තියෙන සිරින්ජස්ද නැති ඒවාද ?
ත්‍රෙඩ් තියෙන එක මිස්..
එහෙමද.. එහේ එතකොට දත් එහෙම ගලවන වෙලාවට නර්ස්ලද ඩොක්ටට සිරින්ජ් එක ගෙනත් දෙන්නෙ, ඩොක්ටම ගිහින් ගන්න ඕනද??
නර්ස්ල තමයි උදව් කරන්නේ

එහෙමද.. එයාලට පඩි කීයක්‌ හම්බෙනවද ?
මම ඒක නම් දන්නේ නෑ මිස්..

එතකොට එයාලගේ යුනිෆෝර්ම් එක වෙනස්ද ?
නෑ ... එහෙම වෙනසක් නැහැ..

ඒ ඇඳුම එයාලට හොස්පිටල් එකෙන් පිට අඳින්න තහනම්ලු ඩොක්ට..
ආ ඇත්තද ?
ඔව්..මිඩ්වයිෆ්ට විතරයිලු පුළුවන්.. ඒවුනාට සමහර අය නම් වැඩ ඉවර වෙලා යුනිෆෝර්ම් එකට උඩින් ජැකට් එක දාන් යනවා මම දැකල තියෙනවා..
හ්ම්ම්ම්.. වෙන්න ඇති..
හැබැයි ඩොක්ට සමහර තරුණ ළමයි නම් ඔය කියන ගානට වඩා කොටට යුනිෆෝර්ම් එක මහනවා.. ෆැෂන් එකට..
හ්ම්ම්..

ඩොක්ටට මතකද මම අර කියපු නංගි..
මොන නංගිද ??
අර මම කිව්වේ මේ පාර කැම්පස් යන්න බලන් ඉන්නවා කියලා..
ආ.. ඉතින්..
මම එයාට කිව්වා නර්සින් යන්න කියලා..
ඒවැඩ අප්පිරියයි කියල ඔන්න දැන් තාම ගෙදරට වෙලා ඉන්නවා..

හ්ම්ම්..

මම ඉතින් එයාට කියල තමයි මගේ පැල වවන්න කවර හදව ගන්නේ..
සල්ලි දෙන්නෙ නැහැ,, එයාටත් යනකොට ඔය මොනවා හරි පැලයක් අරන් යනවා..

ආ..

අපේ පැත්තේ මිරිස් පැලයක් රුපියල් පහයි.. මේ නිව් ටවුන් රෝඩ් එකේ තැනක් තියෙනවා එතන රුපියල් දෙකයි.. හැබැයි තවානෙන් ගලවලා දෙන්නෙ...
ඇත්තද..
ඔව්.. ඉතින් ඩොක්ට ඔය එළවලු වවන අයට එහෙම පැල අරන් ගිහින් වවනවා නම් ලේසි ඇති නේද..
හ්ම්ම්ම්...
ආ.. එහෙම තමයි .. මට ඇහුනා එතන එක්කෙනෙක් කියනවා මිරිස් පැල ඕඩරයක කතාවක්..
ආ එහෙනම් එහෙම වෙන්න ඇති..

මම හරි ආසයි පැල වවන්න.. මම ගිය සතියෙත් ගත්ත ඩේලියා පැලයක්.. 120ක් වුනා..
කොළ පාට ගහේ සුදු පාට මල් පිපෙද්දී පුදුම ලස්සනයි..
හා හා..
මම ආයි මල් පිපුනම ෆොටෝ එකක් ගේන්නම්...
හරි මිස්..

ඊයේ පුතා කිව්වා ඒ මල් පැලේ විසි කරලා දානවා කියලා..
ඒ මොකද..
මම මෙහෙ ආවම ඒ තුන් දෙනා දවසෙම ටී වී එකේ එල්ලිලා ඉන්නවා .. මම ඉතින් රිමෝට් එක හැංගුවා.. ඒකට තරහ ගිහින් තමයි එහෙම කිව්වේ..
ආ..
ඉතින් මම කිව්වා එහෙම කරොත් බයිසිකලේ රෝදේ ගලවල විසි කරනවා කියලා.. එයැයිට මම ගිය සතියේ බයිසිකලේ රෝදේ හදල දුන්න එක්දාස් ගානක් දීලා..

ආ ඇත්තද..
මිස් මම රතු පෑනක් අරන් එන්නම්..
පේෂන් කෙනෙක් ආවොත් කෝල් කරන්න...

(ඉවසලා බැරිම තැන මම ක්ලිනික් එකෙන් එලියට බැහැලා පාර පැත්තට ගියා.. )

Tuesday, February 3, 2015

..එක දවසක කතා දෙකක්..

උදේ 6.00 මාතරින් පිටත් වෙන බස් එක ඇඹිලිපිටියට එනකොට උදේ 8.15..
ක්ලිනික් එක පටන් ගන්නේ 8.30 .
තව විනාඩි 15ක් තියෙන නිසා මම කෝපි එකක් බීලම ක්ලිනික් එකට යන්න තීරණය කරේ නිදිමත නිසාම නෙවේ.. එක දිගට බස් එකේ ඇවිත් දැනුන මහන්සිය නැති වෙලා යන්නත් ඕන නිසා..
මම යනකොට චමිලා ඇවිත් නැහැ.
කරුණා මිස් ක්ලිනික් එක අස් කරන ගමන්..

ගුඩ් මෝනින්..
මිස් වෙලාවට වැඩ නේ..
මම එහෙම කියාගෙනම ඇතුලට ගියා..

කරුණා මිස්ට අවුරුදු 45ක් විතර වෙනවා..
වැඩිය කතා බහක් නැති වුනත් ක්ලිනික් එකේ වැඩකටයුතු නම් පුදුම ඕනෑකමකින් කරනවා..
තාම වැඩ පුරුදු වෙන ගමන් නිසා එයාට පඩියක් නැහැ..

මුලින්ම ඇවිත් හිටියේ දතක් ගලවගන්න කෙනෙක්..
ඒ වැඩේ ඉවර වුනාම පොඩි විවේකයක් ලැබුනා..

ඉතින් මම හැම සඳුදටම ඇසිස්ටන්ට්ලාගෙන් අහන ප්‍රශ්නේ අහන්න හිතුවා..

මිස්.. මගේ පේශන්ස්ලා එහෙම ආවේ නැද්ද මේ දවස් දෙකේ ලොකු ඩොක්ට හම්බෙන්න ??
මොනවත් ප්‍රශ්නයක් එහෙම වුනේ නෑ නේද ?

නෑ ඩොක්ට .. එහෙම දෙයක් වුනේ නෑ...
එහෙම කියපු කරුණා මිස් ආයෙමත් අස්පස් කරන වැඩ කරන්න ගියා..

මම වැඩ කරන තැන සති අන්තයේ වැඩ කරන්නේ ක්ලිනික් එක අයිති දොස්තර..
මට කරන්න අමාරු ප්‍රතිකාර මම සාමාන්‍යයෙන් එයා ඉන්න දවස් වලට ඇපොයින්මන්ට් දානවා..
ඒවාට අමතරව බැරි වෙලාවත් මගේ ප්‍රතිකාරයක් ගැන රෝගියෙකුට චෝදනාවක් තිබ්බොත් ඒක දැනගන්නත් එක්ක  තමයි මම හැම සඳුදටම ඇසිස්ටන්ට්ලාගෙන් එහෙම අහන්නේ..

එතකොටම චමිලා ආවා..

අනේ ඩොක්ට අද පරක්කු වුනා ටිකක් ..
වහල ගහන්න බාස්ල එනවා කිව්වා.. ඒගොල්ලෝ එනකන් ඉන්න වුනානේ..
තාම කවුරුවත් ආවේ නැද්ද ??
(හැමදාම පරක්කු වෙලා ඇවිත් මොකක්ම හරි හේතුවක් කියන එක එයාගේ පුරුද්දක්..)

ආහ්.. කමක් නෑ.
එක්කෙනයි ආවේ.. අවුලක් වුනේ නෑ.. 
කරුණා මිස් ආවනේ.

කරුණා මිස් එතකොට හිටියේ දත් ඇඳි හදන්න වෙන් කරලා තියෙන පොඩි කාමරේ..
ඒක කාමරයක් කිව්වට කාමරයක්ම නෙවේ.. තිර රෙද්දකින් වෙන් කරපු පොඩි ප්‍රදේශයක්..

ආහ්.. පුංචි ආවද..
(කරුණා මිස් චමිලාගේ දුරින් නෑදෑයෙක් වෙනවා.)
පුංචි අරක ඔහේ ඩොක්ටට කිව්වයි ??
චමිලා එක පාරට කරුණා මිස්ගෙන් ඇහුවා..

නෑ මම කිව්වේ නෑ..
කරුණා මිස් උත්තර දුන්නේ කාමරේ ඇතුලේ ඉඳගෙනමයි..

ඒ මොකෝ ඔහේ කිව්වේ නැත්තේ..

චමිලා එහෙම ඇහුවට මට තේරුනා නිව්ස් එක මොකක් වුනත්, ඒක මට කියන්න චමිලාට තියෙන්නේ පුදුම නොඉවසිල්ලක් කියලා ..
මටත් දැන් ටිකක් අවුල්..







මොකද්ද මිස්.. මොකක් හරි ප්‍රශ්නයක්ද??
මට එහෙම කියැවුනේ ඉබේටමයි...
කරුණා මිස් නොකිව්වට මොකක් හරි ලොකු අවුලක් වෙලා වගේ කියල මට හිතුනා..

ඔව්නේ..
ඩොක්ටට මතකද අර පේෂන් කෙනෙක් ආවා දත් හතරක් ගලවගන්න ??
ඩොක්ට අර දත් තුනක් විතරක් ගැලෙව්වේ??
මට මතක හැටියට එයා ආවේ බදාදා.. පුතත් එක්ක..

මම මතක් කරලා බැලුවා..
ඔව්..මට ඒ පේෂන්ව මතකයි..
දත් ඇන්දක් දාගන්න ඕන කියලා  හෙලවෙන දත් ගලවගන්න ආපු කෙනෙක් ඒ..
මම කතා නොකර හිටියත් චමිලා දිගටම කතාව කියවගෙන යනවා..

ඔව්..මම එදා ඩොක්ටට 1200ක් ගන්න කිව්වට ඩොක්ට ගත්තේ 400යි නේ..

ඔව්.. 
ඒ මනුස්සයාගේ දත් ඇඟිල්ලෙන් ඇද්දත් ගැලවෙන ගානටනේ තිබ්බේ මිස්..
මතක නැද්ද ??
අනිත් එක මම පාවිච්චි කරෙත් එක ඉන්ජෙක්ෂන් එකයි, එක ග්ලවුස් කුට්ටමයි..
ඉතින් දත් තුනකට සල්ලි ගත්තා නම් මට හෙන ගහයි...

මම එහෙම කිව්වා..

මතකයි මතකයි ...
අන්න ඒ මනුස්සය සෙනසුරාදා ඇවිත් මෙතන හොඳ නාඩගමක් නැටුවා..

ඒ මොකද්ද ඒ ???

එයා අනිත් දත ගලවගන්න ආවා.. 
ප්‍රදීප් ඩොක්ට ඒ දත ගලවන්න 400ක් ගත්තා කියලා මෙතන කෑ ගහන්න ගත්ත නේ..

මොකද්ද එයා  කිව්වේ??

චමිලා කට උල් කර කර දාඩිය පෙරාගෙන කතාව කියනවා..
ඔය වගේ දේවල් හොඳට විස්තර කරලා කියන්න එයාට තිබුනේ සහජ හැකියාවක්..

ඒ මිනිහ කියනවා,
මේක යස වැඩක් නේ..
එදා මගෙන් දත් තුනම ගලවලත් ගත්තේ මේ ගානමයි.. අද එක දතක් ගලවලත් ඒ ගාන ගන්නවා..
හිතෙන හිතෙන ගණන් වලටද මෙතන වැඩ කරන්නේ !!

ඔහොම කිය කිය කෑ ගහලා එලියට ගිහිල්ලත් පෙෂන්ලා එක්ක කියෙව්වා..
මම හරි අමාරුවෙන් පැහැදිලි කරලා පිටත් කරේ..

ඉතින් මම ඒ මනුස්සයට පැහැදිලි කරල කිව්වනේ මිස්..
එක දතකට අපි 400ක් වගේ ගානක් අපි ගන්නවා..
ඒත් දත්වල තත්වේ නිසා තමයි මෙහෙම ගානක් ගන්නේ කියලා ??

ඔව් ඩොක්ට ..
ඒත් මම ඩොක්ටට කිව්වනේ අඩුම ගානේ දත් දෙකක ගානවත් ගමු කියලා..
ප්‍රදීප් ඩොක්ට සෑහෙන්න අමාරුවේ වැටුනා..
එයා මට කිව්වා ඩොක්ටට කියන්න මීට පස්සේ එහෙම දේවල් කරන්න එපා කියලා..

හ්ම්ම්... හරි මිස්. මම ප්‍රදීප් අයියට ඒක ගැන කතා කරන්නම් ..

මම එහෙම කිව්වට මට හෙනම අවුල්..
ඒක හේතුවක් තමයි ප්‍රදීප් ඩොක්ටට මම නිසා වුන කරදරය.. .
අනිත් එක මිනිස්සුන්ට හොඳ කරන්න ගිහින් මට වුන දේ..

මම කැමතිම නැති දෙයක් තමයි මේ ප්‍රතිකාරවල  ගණන් කියන එක..
වියදම් කරන්න පුළුවන් අයට නම් මේ ගණන් කියන එක කිසිම ප්‍රශ්නයක් නෙවේ..
ඒත් මේ පැත්තේ එහෙම ලොකුවට වියදම් කරන්න පුළුවන් අය අඩුයි කියල මට හිතෙන්නේ ගොඩක් වෙලාවට ප්‍රතිකාරවල  ගණන් අහලා මිනිස්සු හැරිලා යන නිසා...

මේවා  අසාධාරණ ගාස්තු නෙවෙයි..
පිරවුම් ප්‍රතිකාර වලට ඇත්තටම වියදම් යන නිසා සාධාරණ ගාස්තුවක් අය කරන්න  සිද්ධ වෙනවා..
පාවිච්චි කරන බෙහෙත් වර්ගය අනුවත් ගාස්තු වෙනස් වෙනවා..(ඒ කියන්නේ කොලිටි එක අනුව..)
අනෙක් එක තමයි ක්ලිනික් අතර ප්‍රතිකාර වලට average මට්ටමක් පවත්වා ගන්න එක..

ඒත් දතක් ගලවන්න යන වියදම අනෙක් ප්‍රතිකාර ක්‍රමත් එක්ක සසඳද්දී අවමයි..
වැඩිපුර යන්නේ ශ්‍රමය විතරයි.. ඒ නිසාම එක එක තැන්වල දත් ගලවන්න අය කරන ගාස්තුව නම් ලොකු වෙනස්කම් පෙන්නනවා... ඒක රුපියල් 400 ඉඳල රුපියල් 1000 හෝ ඊට වැඩි වෙන අවස්ථා මම අහල තියෙනවා..

එතකොට ඇඟිල්ලෙන් වුනත් ඇදලා දාන්න පුළුවන් දතක් ගැලෙව්වත්, අමාරුවෙන් ගලවන්න සිද්ධ වෙන දතක් ගැලෙව්වත් අපි එකම ගාන ගන්න එක සාධාරණද ??

මම දන්නා තරමින් බහුතරයක් දන්ත වෛද්‍යවරු ගොඩක් හෙලවෙන දත් වලට ගන්නේ අදාළ ගාස්තුවෙන් භාගයයි..
ඒ මනුස්සයට මම විස්තරේ පැහැදිලිව කියල තිබුනත්  එහෙම හැසිරෙන්න ඇත්තේ ඇයි ??

මම කල්පනා කරන අතරේ තව පේෂන් කෙනෙක් ඇවිත්..



...................................................................................................................................................................



අවුරුදු 16-17 විතර ගෑනු ළමයෙක්.. කුඩයක් අතින් අරන්, පොත් දාපු බෑග් එකකුත් අරන්..
පෙනුමෙන් නම් පන්ති ගිහින් එන පාටක් තමයි තිබුනේ..

වාඩි වෙන්න..
මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ ?

ඩොක්ට මට දත් සුද්ද කරගන්න ඕන.. කීයක්‌ විතර යනවද ?

කෝ බලන්න.. කට අරින්න.. 
බැලු බැල්මට එයාගේ විදුරුමස් නිරෝගී පාටයි.. මැලියම් එහෙමත් සැලකිය යුතු ප්‍රමාණයක් නැහැ.. ඒත් ඒ දත් හොඳටම දුර්වරණයි.. විශේෂයෙන් ඉස්සරහ දත්.. හොඳටම දුඹුරු පාට වෙලා..



ඒ වගේ දත් ඒ පැත්තේ ගොඩක් අයට පොදුයි. හේතුව වතුරවල අඩංගු අධික ෆ්ලෝරයිඩ්(Fluoride) නිසා දත්වල හැදෙන ෆ්ලොරොසිස්(Fluorosis) කියන රෝගී තත්ත්වය..

ඇයි දත් සුද්ද කරගන්න ඕන කියල හිතුනේ..
මට එහෙම අහන්න හිතුනේ ෆ්ලොරොසිස් හැරුනම වෙනත් ප්‍රශ්නයක් එයාගේ දකින්න තිබ්බේ නැති නිසා..

දත් සුද්ද කරාම මේ දත්වල බැඳිලා තියෙන පාට යයි නේද ඩොක්ට ??
ඒ ප්‍රශ්නයේ තිබ්බේ පුදුම බලාපොරොත්තු සහගත බවක්..

මෙහෙමයි..  මේ ෆ්ලොරෝසිස් කියන තත්ත්වය තමයි දත්වල තියෙන්නේ..
මෙහෙම වෙන්නේ දත් හැදෙන කාලේ වැඩිපුර ෆ්ලෝරයිඩ්, දත්වල වර්ධනයට බලපාපු නිසා.. 
ඉතින් මේක දත් සුද්ද කරලා නම් යවන්න බැහැ..

එහෙනම් මොකද්ද කරන්න පුළුවන් ඩොක්ට??
ආයෙමත් අර බලාපොරොත්තු සහගත බව...

මේ තත්ත්වය ගොඩක් බරපතල නිසා අපට කරන්න පුළුවන් විනියරින්(veneering)  කියන ප්‍රතිකාරය තමයි.. ඒකෙන් පුළුවන් ඔයාගේ දතේ මතුපිටින් ටිකක් අඩු කරලා, ඒ වෙනුවට සුදුපාට බෙහෙතකින් දත තිබුන වගේම හදන්න...
ඒක හැබැයි ටිකක් ලොකු ගානක් වෙනවා ...

කීයක්‌ විතර වෙනවද ඩොක්ට ??

එක දතකට අපි, XXXX  වගේ ගානක් ගන්නවා...

තාමත් මතකයි මට, ඒ ළමයා විනාඩියකින් බිඳ වැටුන හැටි !
ඔව්..
තාමත් මතකයි මට, ඒ ළමයාගේ මූණේ ඇඳුන  බලාපොරොත්තු කඩ වුන හැඟීම..

හරි ඩොක්ට .. මම වෙන වෙලාවක එන්නම්...

ඒ තරුණ ළමයෙක්..
ගොඩක් මානසිකව විඳවන ප්‍රශ්නයක් වෙන්න ඇති..
දත් සුදු කරන් යන්න ලොකු බලාපොරොත්තුවකින් එන්න ඇති. ඒත් දැන්..

ඒ ළමයා එහෙම කිව්වට ආයේ එන්නේ නෑ කියල මම දන්නවා..
එහෙම කියල ගිය පළවෙනි පේෂන් එයා නෙවේ..
අන්තිම කෙනත් එයා නෙවේ...

අඩු ගානට ඒ ප්‍රතිකාරය කරන එක මට නම් ප්‍රශ්නයක් නැහැ..
මගේ ගාන අඩු කරලා මට ඒක කරන්න පුළුවන්.
ඒත් ඒක මේ ක්ලිනික් එකේ පැවැත්මට ප්‍රශ්නයක්.( මටත් ඒ අත්දැකීම තියෙනවා.)
මිනිස්සු නිසා පාඩමක් ඉගෙන ගෙන ටික වේලාවකින්ම ආයෙමත් මට මෙහෙම දෙයක් වුන එක ගැන ඇත්තටම ආවේ ලොකු දුකක් ...

කවදා හරි දවසක් එනවා නම්, මගේ ප්‍රතිකාර වලින් මට වගේම මිනිස්සුනටත් සතුටු වෙන්න පුළුවන්......
ඒත් එහෙම දවසක් එන්න පුළුවන්ද ??

ඒ ළමයා පිට වෙලා යද්දී මට එහෙම හිතුනා...





















Wednesday, January 14, 2015

පරිණත(ද?)





උදේ හිටියේ ලෙඩ්ඩු හතර පස් දෙනයි..
ඒ වැඩ ඉවර කරලා 12.00 වෙද්දී දවල්ට කෑවා..
12.00 ,පහු වෙලා 2.00ත් වුනා .. අද නම් වෙන කවුරුවත් එන පාටක් නෑ..

මේසෙට ඔලුව තියාගෙන පොඩි නින්දක් දාන්න හිතුවේ ඇස්සිටන්ට්ල දෙන්න තොර තෝංචියක් නැතුව දොඩවන ඕපදූප අහන් ඉන්න බැරි නිසාමයි..

වෙලාව 4.00 ...
නිකමට ඇහැරිලා බැලුව..

තාම චමිලා මිස්ගේ දෙඩවිල්ල නැවතිලා නෑ.. එයා මයිත්රීට .. කරුණා මිස් මහින්දට..
ඒ දෙන්නගේ වාදේ හෙනම බොළඳයි කියල හිතුනත් මම මොනවත් කියන්න ගියේ නෑ..
මට පුළුවන්ද ඔය මතයක් වෙනස් කරන්න ??

එක පේෂන් කෙනෙක්වත් නැතුව පැය හතරක් ගිහින්..
කරන්නම දෙයක් නැති නිසා රිච්මන්ඩ් හෝටලේට ගිහින් ටී එකක් බීල බනිසක් ගිල්ලා..
මොනවා වුනත් තනියම කාල බීල එන ඒක හොඳ නෑ ..

මට දෙන්නකෝ තව බනිස් දෙකක් අරන් යන්න 

මහත්තය බනිස් නම් තව එකයි තියෙන්නේ...

එහෙනම් ඔය ජෑම්පාස් දෙකක් දෙන්න...

ඒවා ටිකක් හයියයි වගේ නේ මහත්තයා.. උදේ ඒවානේ.. හවස මාළු පාන් දෙන්නද??

හා එහෙනම්..
(ඕන මඟුලක් )

පේමන්ට් එක දිගේ ඇවිදගෙන එනකොට යාචකයෙක්...

ඔය වැඩිපුර තියෙන ඒවායින් කීයක්‌ හරි දෙන්න මහත්තයෝ..


කාටද ඇත්තට මේ ලෝකේ වැඩිපුර තියෙන්නේ ??
තියෙන එවුන්ට එක්කෝ ඇති.. එක්කෝ මදි... වැඩිපුර??
එහෙම මිනිස්සු ඉන්නවද ??

........................................................................................................................

ක්ලිනික් එකට ඇවිත් මාළුපාන් දෙක චමිලා මිස්ට  දීල පුටුවට හේත්තුවක් දැම්ම..
එතකොටම සුදු පටියක් ඇඟ හරහට දාගත්ත පොලිස් මහත්තයෙක් ඇවිත් එබුනා ...

දොස්තර මහත්තය ඉන්නවද දන්නේ නෑ??

ඉන්නවා... එන්න ඇතුලට..

මොකද්ද ප්‍රශ්නේ..

මේ... මගේ දත් ටික පොඩ්ඩක් සුද්ද කරගන්න ඕන.. 
කීයක්‌ විතර යනවද කියල දැනගන්න ආවේ..

කෝ කට අරින්න බලන්න ..
බුලත් කනවද,, සිගරට් බොනවද..

ළඟදී බුලත් නම් කෑවේ නෑ.. (ඒ කියන්නේ  සිගරට් නම් බොනවා )

මෙහෙමයි.. මේ ටික කරන්න නම් XXXX වගේ ගානක් යනවා.. 

හ්ම්ම් එහෙමද.. දැන් නම් සල්ලි නෑ නේ..

මම කල්පනා කරා..
කමක් නෑ වාඩි වෙන්නකෝ..

........................................................................................................................

හරි එහෙනම් දොස්තර මහත්තයෝ.. මම පස්සේ සල්ලි ගෙනත් දෙන්නම්.. කීය වෙනකන් ඉන්නවද ??

මම නම් 5.00 වෙනකන් ඉන්නවා මෙතන.. 
(සල්ලි ගන්න ඕනද නැද්ද.. මට හිතාගන්න බෑ )

5.00 වෙනකන් නේද.. 
ම්ම්....
හරි මම මහත්තය හිටියේ නැත්තන් මේ මිස්ට හරි ගෙනත් දෙන්නම්කො.. 
මිස් ඉන්නවනේ මෙතන.. 
යන්නම් එහෙනම්...

ඔය බොරු ඩොක්ට කියන්නේ..
එක දවසකුත් ආවා.. ගාන අහන්න ..
මට කිව්වා , මේවා හරි නම් ඔයාල අපට නිකන් කරන්න ඕන කියලා...
ඉතින් මම කිව්වා එහෙනම් ඉරිදා දවසක එන්න කියලා..
ඕන ඔට්ටුවක්... ඔය මනුස්සය සල්ලි ගෙනත් දෙන්නේ නෑ..

ආයෙමත් චමිලගේ දෙඩවිල්ල...

වෙන පේෂන් කෙනෙක් ආපු නිසා මගේ අවධානෙ ඒ පැත්තට ගියා...

........................................................................................................................

4.45.. මම හිටියේ දතක් පුරවන ගමන්...
කෙනෙක් ඇවිත් දොරෙන් එබුනා..

ඒ අර ට්‍රැෆික් මහත්තය ..

ඩොක්ට මෙන්න මම සල්ලි ගෙනාව..  XXXX නේද.. මෙන්න...

නෑ නෑ සල්ලි ඕන නෑ.. 
(ඒක කිව්වේ හිතලද නැද්ද කියල මම දන්නේ නෑ..)

එහෙම හොඳ නෑ නේ.. මේක ගන්න..

නෑ නෑ .. ඕන නෑ.. ඕක මොකද්ද..
මම හිනා වුනා..

හරි එහෙනම්.. 
බොහොම ස්තූතියි දොස්තර මහත්තයෝ.. මම යන්නම්..

මම චමිලා දිහා බැලුවා..

චමිලා අහක බලාගෙන TF අනනවා...

ප.ලි
(TF= තාවකාලික පිරවුම් )