Thursday, May 7, 2015

තම්බින්ට කොහෙද වෙසක් ???? (ඩයරියෙන් )






ඒ වෙසක් පෝය ...

අම්ම සිල් අරන් ...
මම ඇත්තටම අකැමැතියි අම්මා සිල් ගන්න එකට. මොකද නිවාඩුවට ගෙදර එන දවසට අම්ම ගෙදර ඉන්න ඕනමයි කියල මම තදින්ම  විශ්වාස කරන නිසා.
අම්ම එක්ක පැය 24 ම කතා කර කර ඉන්නේ නැති වුනත් , එක මොහොතකට හරි අම්ම ගෙදර නැති වුනාම මුළු ගෙදරම පාලුයි කියල මට හිතෙනවා..

සෙනසුරාදා දවල් වැඩ ඇරිලා එන්න හදනකොට ආපු  අම්මගේ දුරකථන ඇමතුම කිසිම හේතුවක් නැතුව මට මතක් වුනා..

චූටි පුතා බස් එකට නැග්ගද ??
 නෑ අම්මේ, දැන් වැඩ ඉවර වෙලා යන ගමන්..

හරි පුතේ පරෙස්සමෙන් එන්න..
හරි අම්මේ..

හරි මම තියන්නම් එහෙනම්.. බුදු සරණයි..
ආහ් මේ පුතේ ..

කියන්න අම්මේ ..
හෙට පෝයට මම සිල් ගන්නවා හොඳේ.. කමක් නෑ නේ ??

අම්මා එහෙම ඇහුවේ හරියට මගෙන් අවසර ගන්න වගේ..
ඒ අහපු හැටියට අම්මට එපා කියල කියන්න මට බෑ..
ඒත් මම අකැමැති බව පෙන්නනත් ඕන ..

හ්ම්.. හරි .. මම තියන්නම්....
මම මගේ අකමැත්ත පෙන්නුවේ එහෙම..

ඊයේ අම්මට උදේ ඇහැරෙන්න ෆෝන් එකේ එළාම් එක තියල දුන්නෙත් අකමැත්තෙන්..
මොනවා කරන්නද .. අම්මට සතුටකට තියෙන්නේ එච්චරයි..

................................................................................................................................................................


පුදුම රස්නයක් තියෙන්නේ .. හුළං බින්දුවක් නැහැ
ගිනිගහන රස්නෙත් තාත්තා සිගරට් එකක් පත්තු කරගෙන ..
අනේ ඇත්තට.. සීතලයි නම් තව කමක් නෑ..

එතකොට මට මතක් වුනේ පේරාදෙණිය..
එහෙ වහින දවසට, සීතල දවසට මගේ දවස ගත වුන විදිය ..
අපරාදේ කියන්න බැරි මටම ගැලපෙන රූමෙක් හිටිය මට ..
මේ දවස්වල එහෙ කොහොමද දන්නේ නෑ.. අම්මටසිරි, මගේ බයික් එක තාම එහේ..

තාත්තා කහින සද්දෙ නිසා මගේ සිතිවිලි දැහැන බිඳුනා ..

කැහැ කැහැ තව සිගරට් බොන්න..
එතකොට හොඳ වෙයි ඔය කැස්ස ..

ඒ උපදෙස තාත්තට දෙන්න අවංකවම මට අයිතියක් නැහැ කියල මම දන්නවා වුනත් මට ඉබේටම එහෙම කෑ ගැහුනේ  තාත්තට තියෙන ආදරේ නිසා..
මගේ දිහා බලපු තාත්තා සිගරට් එක අරන් මිදුල පැත්තට ගියා ..

අනේ අම්මප තියෙන මුරණ්ඩු කමක් ..

...................................................................................................................................................................

අම්මව බලන්න යන්න ඕන..
ගිය පාර පෝයට මම අම්මව බලන්න ගිය වෙලාවේ මට මතකයි මාව දැකල අම්මගේ ඇස් දිලිසුන හැටි..
මම මීට කලින් කවදාවත් එහෙම ගිහිල්ල නැහැ.. එදා යන්න හිතුනේ ඇයි කියල මතක් කරන්න මම උත්සාහ කරා..
මතක නෑ..

මම යනකොට දවල්ට කාල අම්ම වාඩි වෙලා ඉන්නවා ..
අම්මගේ තනියට හිටියේ එහා ගෙදර අක්කා..

මම හිතුවේ අද නම් එන එකක් නෑ කියල..
අම්මට කියවුණා..

ඒ කියන්නේ අම්ම මාව බලාපොරොත්තුවෙන් තමයි ඉඳල තියෙන්නේ..
සිල් අරන් ඉන්න අම්ම වෙනදට වඩා පුදුම ලස්සනයි නේද කියල මට හිතුනා..
අම්මගේ දිලිසෙන ඇස් නිසා ඒ ලස්සන තවත් වැඩිපුර කැපී පෙනුනා...
සිල් අරන් ඉන්න සෙනඟ අස්සේ අම්ම ලස්සනට  කැපිලා පේන්නේ මට විතරක් වෙන්න ඇති..

යන්න පිටත් වෙලා අම්මට වැන්දා..
එහා ගෙදර අක්කටත් වඳින්න ඕනද??
එක්කෝ ඕන නෑ.. මගේ මාන්නය හරස් වුනා...
මම යනවා..


...................................................................................................................................................................


කාමරේ අස් කරලා ඉවරයි .
රෑට කාමරේ රස්නේ අඩු වෙන්න cfl බල්බ් එකක් ගෙනත් දාන්න ඕන .. කාගිල්ස් යන්න හිතුනේ එහෙමයි..

කාගිල්ස් එකේ සිකුරිටි මහත්තය තව මනුස්සයෙක් එක්ක බර කතාවක ..
මම තනියම දොර ඇරගෙන එලියට ආව..
මොන මඟුලක්ද ... මෙන්න එපාර වහිනවා !!

පිට වෙලා යාගන්න බැරුව එතන පල් වෙන්නේ මම විතරක් නෙවේ කියල වටපිට බලනකොට මම දැක්ක ..
අවුරුදු 6ක විතර පොඩි දරුවෙක් වැහි බින්දු අල්ලනවා ..
තාත්තා බයිසිකලේ උඩ බඩු මල්ල තියාගෙන ඒ දිහා බලන් හිනා වෙනවා ..
වාසනාවන්ත දරුවෙක්.. වෙන පොඩි එකෙක් නම් මේ වෙනකොට බැනුම් අහලා..

අනිත් මනුස්සය කෝල් එකක ..

ජෝඩුවක්‌ වැස්සේ තෙමීගෙනම බඩුත් උස්සන් දුවල ගිහින් කිරි කිරි Aqua එකක නැගල උජාරුවෙන් පිටවෙලා ගියා.. මට ඉබේටම තාත්තගේ  ස්කූටිය දිහා බැලුනා ...
තැනින් තැන මලකඩ බැඳිලා තියෙන ස්කූටිය මගේ දිහා අසරණ විදියට බලාගෙන ඉන්නවා ..

පායන පාටක් නෑ ..
ජංගම දුරකථනය සාක්කුවෙන් අරන් මම ඇමතුමක් ගත්තා..

දැන් වැස්ස අඩු වෙන ගමන් ..
සිකුරුටි මහත්තය එක්ක කියව කියව හිටපු මනුස්සයත් එලියට ඇවිත් පායනකන් බලන් ඉන්නවා ..
හිටපු ගමන් එයා දුවගෙන ගිහින් මොකෙද්දෝ සතෙක් පාගන්න පටන් ගත්තා..

මොකද්ද පොර කරන්නේ ?? දුරකතනෙන් මගේ අවධානය බිඳුනා ..

හෙලෝ.... හෙලෝ... ඇහෙනවද ඔයා සද්ද නැත්තේ ඇයි ??
නෑ නෑ මේ මෙතන හිටපු මනුස්සය දුවල ගිහින් මොකෙද්ද සතෙක්ව පාගනවා ..

මොකෙද්ද ?
මට පේන්නේ නම් පත්තෑයෙක් වගේ..

හ්ම්ම්...

ඒ මිනිහ ආපහු ආව ... ඒත්  සතා තාම  දඟලවනවා .
වැස්සේම ආපහු දුවගෙන ගිහිපු අර මිනිහ ඌව ආයෙත් පාගන්න පටන් ගත්තා ..

කාර් එකේ පොඩි බබෙක් ඉන්නවා .. ඒ මිනිහ අපේ පැත්තට හැරිලා කිව්වා.. මුස්ලිම් පොරක් .. උච්චාරණ විලාසයෙන්ම තේරුණා..

හෙලෝ...  හෙලෝ...
ඇහෙන්න නැද්ද ??
නෑ නෑ ඇහෙනවා ... මම මේ බලන් හිටියේ  අර මනුස්සය ආයි අර සතාව පාගනවා ..

හ්ම් .. ඔයා ගෙදර ගිහිල්ලම මට කතා කරන්න
හරි හරි මම තියන්නම් එහෙනම් ..

මම  වටපිට බැලුව... වැස්සට බේරිලා නොතෙමි ඉන්න හදන එතන හිටපු හැමෝම අර මනුස්සය කරන දේ බලන් ඉන්නවා ..

ඌව මරන්න එපා !! මම කෑ ගැහුවා..

කාර් එකේ පොඩි බබෙක් ඉන්නවා ...ඒ මිනිහ ආයි කියනවා ..

හරි මම ඌව එලවන්නම් ...
මම එතනට ගියා..

පත්තෑය මැරිලා !!!

මම ආයේ වැස්සෙන් බේරෙන්න හෙවනට ආව ..

බලන්නකෝ පෝය දවසේ ඒ මිනිහ කරපු පවු වැඩේ .. එතන හිටපු වයසක මිනිහෙක් ළඟ හිටපු මිනිහට කිව්වා..
පව් අසරණ සතා ... එහෙම කිව්වේ වෙනත් මනුස්සයෙක්..

තම්බින්ට කොහෙද ඉතින් වෙසක් ... සිකුරුටි මහත්තය මගේ ළඟට ඇවිත් කිව්වා ..

අර පොඩි එකී තාම වැහි බින්දු අල්ලනවා...

...................................................................................................................................................................

ගෙදර යනකොට අම්ම ගෙදර ඇවිත් ..

මම අද දවසේ කරගත්ත සියලුම පින් පුතා කරගත්ත පින් වගේ අනුමෝදන් වේවා
අම්ම මගේ ඔලුව අතගෑවා..
මගේ හිත තිබුනේ වෙන තැනක...
පවු අර පත්තෑයා...

සාදු කියන්න පුතේ.. එතකොට තමයි පින් අනුමෝදන් වෙන්නේ..

සාදු සාදු.....

10 comments:

  1. විවිධාකාර සිතිවිලි වල පිළිබිඹුවක්ද

    ReplyDelete
    Replies
    1. ඔව් නංගි... ඒවගේ තමයි.... 😊

      Delete
  2. සාදු සාදු සාදු..................... අර රූමා දිගට ම හිටියානම් ඉතින් සාදුම තමා..........

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත කුරුටු.... ඒත් ඒ වගේ යාළුවෙක් ලේසියෙන් නම් හොයාගන්න බෑ...... 😊

      Delete
  3. ඇයි තාත්තා සිගරට් බොනවට කෑගහන්නෙ සිගරට් බොන එක නරක වැඩක්ද අය්යේ??

    ReplyDelete
    Replies
    1. නරක වැඩක් තමයි !!!!! :p

      Delete
  4. Beautiful story.

    ReplyDelete