ඇය ඇත්තටම හුරුබුහුටිය... මා මුලින්ම ඇයව දැක්කේ නැටුම් අංගයකට පුහුණුවීම සඳහා ඇය අප පාසලට ආ දිනකදීය...(2003)
මේක හරි යන වැඩක් නෙවේ මචන්.. ඒ ළමයා අපට වඩා අවුරුදු දෙකක් බාලයි...
ඉතින් මට ක්ලාස් එකකදීවත් කතා කරන්න සෙට් වෙන්නෙ නෑ..
අනිත් එක එයාගෙ ගෙදරත් තියෙන්නෙ ඉස්කෝලෙ ළඟමයි.. බස් එකේදිවත් හම්බෙන්න තිබ්බ නැත්තන්...
උදේ සිට ලැබුනු පාප මිතුරන්ගේ ලව් උපදෙස් වලින් හෙම්බත්ව සිටි මා එලෙස පැවසුවේ ඇත්තෙන්ම සියල්ල එපා වීය.. ඒත් යහළුවන් පසුබසින පාටක් නැත..
ඉතින් යකෝ ඉස්කෝලෙ ඇරෙන වෙලාවට යමන්.. ගෙදරට යනකන්වත් කතා කරන්න අල්ලගන්න පුළුවන් නෙ...
ඒ දසුන්ය... සෙට් එකටම ලව් සම්බන්ධයෙන් සියළුම ටෝක්ස් කියා දෙන්නේ පොරය.. කෙල්ලන් හතරපස් දෙනෙක් නඩත්තු කරනවාක් මෙන් හැසිරැනත්, ඌට සිටි කෙල්ලෙක් නැත.. මිශ්ර පාසලක සිට අපේ පාසලට පැමිණි නිසාත්, බස් වලදී කෙල්ලන් සමඟ කතා කරන බවට අපට බුද්ධි අන්ශ තොරතුරු ලැබී තිබුනු නිසාත් අපට වඩා පොර කෙල්ලන් ගැන දන්නවායැයි අප තරයේ විශ්වාස කෙරුවෙමු...
පිස්සුද බන්... ඒව කරන්න ලැජ්ජයි... අඳුරන කවුරුහරි දැක්කොත්??
අනිත් එක ගෙදර යන්න පරක්කු වුනොත් ගෙදර අය බලයි පරක්කු මොකද කියලා...
ඒවනවිට අපි නවය වසරේය...
මම කියන්නද වැඩක්? අපි යමන් මනෝ ඇන්ටි හම්බෙන්න?? කෙල්ලව යාළු කරගන්න කලින් අම්මව යාළු කර ගනිමු..
කෙල්ලගේ මව අපේ පාසලේ සිටි මනෝ විද්යා උපදේශිකාවය..
තිළිනගේ ඒ අදහස මුළු සෙට් එකම ඒකමතිකව අනුමත කළ නමුත් මට නම් හරි ගියේ නැත..
ඉතින් බන් එයාව හම්බෙන්න ගිහින් මොනවද කියන්නෙ?? මනෝ ඇන්ටි කැමති වෙයිද බන් මනස අප්සට් එකෙක් දූගෙ පස්සෙන් එනවට??
ඔව් හැබැයි.. අපි එහෙනම් දෙන්නෙක යමු... උඹ කියපන් උඹ ආවේ යාළුවා එක්ක කියලා...
යෝජනාව අනුමත විය.. මගේ සහචරයා ලෙස ඒ යෝජනාව ඉදිරිපත් කළ තිළිණවම තෝරා ගන්නා ලදී..
මාගේ සේරම කුප්ප ක්රියාවල ප්රතිඵ සෑමවිටම වාගේ භුක්ති වින්දේ පොරය...
දවස උදා විය....
මොකද්ද බන් මම දැන් ගිහින් මනෝ ඇන්ටිට කියන්නේ??
කියපන් උඹට පාඩම් කරන්න හිත හදාගන්න බෑ කියලා...
ඒ මොකද කියලා ඇහුවොත්???
කියපන් උඹේ තාත්ත හැමදාම බීලා ඇවිත් ගෙදර අයට කරදර කරනවා කියලා...
මට ඒවෙලාවේ හිතට ආපු සාර්ථකමයැයි සිතුන බොරුව එයය..
පිස්සුද යකෝ... අපේ තාත්තා බොන්නෙ නෑ.. අනිත් එක අපේ පච වලට එයාලව ගාවගන්න ඕන නෑ...
ඒකත් ඇත්ත ... අපි එහෙනම් කියමු උඹේ අයිය බීල ඇවිත් ගෙදර අයට කරදර කරනව කියලා... උඹට අයියෙක් නෑනේ.. ඒ නිසා ශේප්නේ??
අඩෝ... අන්න ඒක එල.. නංගිටත් ගහනව කියමු... ඒක මරු...
අපේ වාරය පැමිණිවිට දෙදෙනාම කාමරයට ඇතුළු වුනෙමු...
මනෝ ඇන්ටිට වඩා දුව රූමත්ය.. ඇයට ඒ රුව ලැබෙන්නට ඇත්තේ ඇයගේ පිය පාර්ශවයෙන් විය යුතුය...
ඇයි පුතාලා...
ඇගේ ප්රශ්නයෙන් මම පියවි ලොවට අවතීර්ණ වුනෙමි.. දොස්තර හමුවේ තමන්ට ඇති රෝගය දෙමව්පියන් විසින් විස්තර කරන තෙක් බලා හිඳින දරුවෙක් මෙන් තිළින මා දෙස බලා සිටී....
මිස් මේ මගේ යාළුව පාඩම් කරන්නේ නෑ ගෙදර ප්රශ්න කියලා....
එතකොට පුතා ආවේ......... යාළුවා නිසාද???
ඔව් මිස්...
ආ එහෙනම් ඔයා පොඩ්ඩක් එලියට වෙලා ඉන්නකො...
අපි දෙදෙනාටම තරු විසිවුණි... තිළිණයා දහඩිය පෙරාගෙන ගලේ රුන්න බළලෙක් සේ මා දෙස බලා සිටි හැටි තවමත් මට මතකය...
විනාඩි 30ක පමණ උපදේශන සේවාවක් ලබාගෙන පොර එලියට ආවේ මනෝ ඇන්ටි විසින් මීළඟ දින කරගෙන ඒමට නියම කරන ලද පැවරුම් කොල මිටියක්ද සමඟය.. එක දිගට බොරු කීම නිසාදෝ ඔහුගේ කමිසය දහඩියෙන් පෙඟී ඇඟට ඇලී තිබුනි...
ඒ කිසිම අර්ථයක් නැති ප්ලෑන එතනින්ම අල විය...
නැවත උපදේශන සේවා ඒකකය පැත්ත පළාතේ නොයෑමට අප වග බලාගතිමු...
නැවත කිසිදාක මුණනොගැසුන බැවින් ඒ ප්රේමය ඉපදී ටික කාලයකින්ම මිය ගියේය....
නමුත් ඒ අතීතය සුන්දරය...