Monday, July 3, 2017

(නූ)පන් දියණිය

මවා සහසක් හීන පොදියක්
පැතූ පැතුමක් ඉටුවුණී..
කියා, සතුටක් හිතේ නැඟුණත් ,
බිඳී වැටුණා සැනෙකිනී
හැඬූ කඳුළක් නෙතේ නැතුවත්
සිඳී තොළකට වියලුණී..
හදේ ගැඹුරුම තැනත් පුපුරා
පණ පිටින් මම මියැදුනී...

පොකුටු කොණ්ඩය හරිම සිනිඳුයි
සේද හුයකින් ගෙතු වැනියි..
රන් පැහැති සම දිලෙන අයුරට
සුරඟනාවොත් පරදවයි..
නිසල වතෙහී තවම ජීවය
තිබෙන  බව මගෙ හිත කියයි....
බිඳක් හෝ නුඹ හෙලවෙනාතුරු
බලං ඉන්නේ ඒකමයි..

භව ගමනෙ අද වැරදි තැනටද
සැරිසරා නුඹ පැමිණියේ ??
අපෙන් වරදක් වුණාදෝ ඇයි ,
ආපු හැටියෙම හැර ගියේ ??
මගේ පණපොද අරන්වත් යලි
මෙහි වඩින් දූ කුමරියේ..
තාත්තා මම ආදරෙයි මගෙ පණට
වැඩියෙන් දෝණියේ..

නිමිත්ත :
ඉපදුණ මොහොතේම සිය දියණිය මියගොස් සිටි අයුරු දුටු පියෙකුට දැණුනා යැයි පැවසූ හැඟීම් ඇසුරෙන් සකස් කරන ලද්දකි ....










1 comment: